ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි එම ඝාතනයෙන් පසු මෙරටින් පලා ගොස් තිබුණේ ඉකුත් පළාත් පාලන මැතිවරණය පැවැති මැයි මාසයේදී බව විමර්ශකයින් හෙළි කරගෙන තිබෙනවා.
මැතිවරණ උණුසුමත් සමඟ කාර්යබහුල වූ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමුවූ අවස්ථාවක ඇය මෙලෙස ඉන්දියාවට පලා ගොස් තිබූ බව ද වාර්තා වෙනවා.
මේ වන විට ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් 06 දෙනකු පොලිසියේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුවන අතර මෙම කරුණු එහිදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරනවා.
අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට ගිනි අවිය අධිකරණයට රැගෙන ගොස් තිබුණේ ඇය බව මෙම විමර්ශනවලින් අනාවරණය වී තිබුණා.
පොලිසිය අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම ඝාතනය මෙහෙයවා තිබුණේ ඒ වන විට විදෙස්ගතව සිටි පාතාල අපරාධකරුවන් වූ කෙෙහල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ද නමැති අය විසින්.
ඝාතනය වූ දිනම වෙඩික්කරු සමඟ ඉෂාරා සෙව්වන්දි ද ඉන්දියාවට පලා යෑමට සැළසුම් සකස් වී තිබුණද වෙඩික්කරු පුත්තලම පාලවියේදී පොලිස් විශේෂ කාර්ය බලකායට හසුවීමත් සමඟ ඔවුන්ගේ සියළු සැළසුම් ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය පවසනවා.
පසුව, ඉෂාරා මාස තුනක කාලයක් මෙරට තැනින් තැන සැඟව ජීවත්ව සිට තිබුණා.
මතුගම, මාතර, වව්නියාව වැනි ප්‍රදේශවල මාස තුනක කාලයක් මෙසේ සැඟව සිටි ඇය, යාපනයට ගොස් ධීවර බෝට්ටුවකින් ඉන්දියාවට පලා යන්නේ ජේ. කේ. බායි නමැත්තා සමග බවට මේ වන විට කරන ලද විමර්ශනවලින් හෙළිව තිබෙනවා.
මේ සදහා කෙහෙල්බද්දර පද්මේ ජේ. කේ. බායි නමැත්තාට රුපියල් කෝටියක මත්කුඩු ලබාදී ඇති බව ද විමර්ශනයේදී හෙළිව තිබුණා.
ඉන්දියාවේ මසක පමණ කාලයක් සිට ඇති ඇය ඉන්දියානු කාන්තාවක ලෙසින් නේපාලයට රැගෙන යන්නේ ඉන්දියාවේ මිනිස් ඡාවාරම්කරුවන් පිරිසක් විසින් බවටද මෙහිදී හෙළිව තිබුණා. ඒ ඉකුත් ජුනි මාසයේ දිනකයි. දින හය හතක් දුම්රියේත් බස් රථවල මෙන්ම කුලී රථවලත් ඇය නේපාලයට යන තෙක් ගමන් කර තිබුණා.
ඉන්දියානු තැරැව්කරුවන් ඇයව නේපාලයට ඇතුළු කරන්නේ දේශ සීමා පන්නාගෙනයි. ඇයව නේපාලයේදී භාරගැනීමට එහි සිටින තරැව්කරුවන් කිහිප දෙදෙනකු ද පැමිණ තිබෙන බවට වාර්තා වෙනවා. ඇය ඉකුත් දා අත්අඩංගුවට ගන්නා තෙක්ම නේපාලයේ රැඳී සිට ඇත්තේ ඉන්දියානු කාන්තාවක ලෙසින් බව කියැවෙයි.
ඇයට ඒහි ජීවත්වීමට අවශ්‍ය මුදල් ඇතුළු පහසුකම් සියල්ලක්ම සපයා ඇත්තේ ඒ් වන විට ඩුබායි හී රැඳී සිටි ජේ.කේ බායි නමැත්තා විසින් බවත්, ඔහු ඩුබායි සිට නේපාලයට පවා නිතර නිතර පැමිණ සෙව්වන්දිගේ සැප දුක් සොයා බලා ඇති බවද වාර්තා වෙනවා.







