පෘථිවියේ ප්‍රධානතම බලශක්ති ප්‍රභවය බවට සූර්ය බලශක්තිය පත්වනු ඇතැයි පුරෝකථනය කර ඇති වකවානුවක, විද්‍යාඥයින්ගේ අවධානය දැන් පොළොව මතුපිටින් ඔබ්බට, අභ්‍යවකාශය වෙත යොමු වී තිබේ. ඇතැම් ද්‍රව්‍ය මත ආලෝකය පතිත කිරීමෙන් විදුලිය නිපදවිය හැකි බවට ප්‍රංශ භෞතික විද්‍යාඥ එඩ්මන්ඩ් බෙකරල් ප්‍රථම වරට යෝජනා කළේ 1839 තරම් ඈතකදීය. එතැන් පටන් දශක ගණනාවක් පුරා විකාශනය වූ මෙම තාක්ෂණය,
පොළොව මත පදනම් වූ සූර්ය සහ සුළං බලශක්තියේ ප්‍රධාන අභියෝගයක් වන කාලගුණය මත රඳා පැවතීමේ අස්ථාවරත්වයට පිළියමක් ලෙස අභ්‍යවකාශයේ සූර්ය පැනල ස්ථාපිත කිරීමේ දැවැන්ත සංකල්පයක් දක්වා වර්ධනය වී ඇත.
ලන්ඩනයේ කිංග්ස් කොලීජියේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෙයි හේ පෙන්වා දෙන පරිදි, අභ්‍යවකාශයේ ස්ථානගත කරන සූර්ය පැනල මගින් කාලගුණික බාධාවලින් තොරව, අඛණ්ඩව බලශක්තිය නිපදවීමේ හැකියාව පවතී. මෑතකදී ඉදිරිපත් වූ නවතම පර්යේෂණයකින් මෙමගින් යුරෝපයේ සුළං සහ භූමි-පදනම් සූර්ය බලශක්තිය මත ඇති රඳා පැවැත්ම 80% කින් පමණ අඩු කළ හැකි බවට මූල්‍යමය හා පාරිසරික කරුණු ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත්, මෙම තාක්ෂණයේ අනාගතය පිළිබඳව තවමත් අවිනිශ්චිතතාවයක් පවතින බවත්, එය වත්මන් බලශක්ති පද්ධතියට සුළු අනුපූරකයක් ලෙස හෝ ප්‍රධාන භූමිකාවක් ඉටුකළ හැකි දැවැන්ත තාක්ෂණයක් ලෙස වර්ධනය විය හැකි බවත් ඔහු සඳහන් කරයි.
අභ්‍යවකාශයේ සිට පොළොවට විදුලිය ගෙන එන්නේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුර අතිශය දිගු කේබලයක් නොව ක්ෂුද්‍ර තරංග තාක්ෂණයයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පුනර්ජනනීය බලශක්ති පිළිබඳ මහාචාර්ය හෙන්රි ස්නෙයිත් පැහැදිලි කරන පරිදි, අභ්‍යවකාශයේ ඇති සූර්ය පැනල මගින් ජනනය කරන ශක්තිය විශාල ක්ෂුද්‍ර තරංග ප්‍රභවයක් හරහා පොළොව වෙත සම්ප්‍රේෂණය කරනු ලබන අතර, පොළොවේ ඇති ග්‍රාහක මගින් එම ක්ෂුද්‍ර තරංග විකිරණ නැවත විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කෙරේ. මෙම තාක්ෂණයේ ශක්‍යතාව බොහෝ දුරට ආර්ථික සාධක සහ බලශක්ති ගබඩා කිරීමේ තාක්ෂණයන්හි දියුණුව මත රඳා පවතිනු ඇතැයි ඔහු විශ්වාස කරයි.
මහාචාර්ය ස්නෙයිත්ගේ මතයට අනුව, අභ්‍යවකාශ සූර්ය බලශක්තිය 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් ඉලක්ක සපුරා ගැනීමට උපකාරී වන විසඳුමක් නොව, 2050 න් පසුව වැදගත් විය හැකි තාක්ෂණයකි. ඔහුගේ තර්කය පදනම් වන්නේ පුනර්ජනනීය බලශක්තියේ අස්ථාවරත්වය මත නොව, අනාගතයේදී බලශක්ති ඉල්ලුම ඉහළ යන විට සූර්ය පැනල සඳහා අවශ්‍ය වන විශාල ඉඩම් ප්‍රමාණය මතය. දැනට ලෝකයේ සමස්ත බලශක්ති අවශ්‍යතාව සූර්ය බලයෙන් පමණක් සපුරා ගැනීමට නම් ගොඩබිමෙන් 1% ත් 2% ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, එය කෘෂිකර්මාන්තය සඳහා යොදාගන්නා 50% ක භූමි ප්‍රමාණයට සාපේක්ෂව කුඩා වුවද, බලශක්ති ඉල්ලුම වර්ධනය වීමත් සමඟ මෙම අවශ්‍යතාව තවදුරටත් ඉහළ යනු ඇත.
අභ්‍යවකාශයේ සූර්ය තීව්‍රතාව පොළොවට වඩා 1.3 ගුණයක් පමණක් වුවද, දවසේ පැය 24 පුරාම සූර්යාලෝකය ලැබෙන බැවින්, වසරක් පුරා සැලකීමේදී පොළොව මෙන් පස් ගුණයක පමණ බලශක්තියක් නිපදවිය හැකිය. මේ සඳහා අති දැවැන්ත සූර්ය පැනල පද්ධති අභ්‍යවකාශයේ ස්ථාපිත කළ යුතු අතර, ඒවා නැමුණු කඩදාසි නිර්මාණ (ඔරිගාමි) මෙන් කුඩාවට නමා අභ්‍යවකාශයට ගෙන ගොස් එහිදී දිග හැරෙන ආකාරයේ තාක්ෂණයන් මේ වන විටත් චන්ද්‍රිකා සඳහා භාවිත කෙරේ.
මේ අතර පොළොව මතද සූර්ය බලශක්ති තාක්ෂණය ශීඝ්‍ර දියුණුවක් ලබමින් පවතී. වර්තමානයේ භාවිත වන සිලිකන් මත පදනම් වූ සූර්ය කෝෂවලට අමතරව, විවිධ ද්‍රව්‍ය එකිනෙක මත ස්ථර ලෙස යෙදූ “ටැන්ඩම් සෛල” (tandem cells) නමැති නව තාක්ෂණයක් හඳුන්වා දී ඇත. විශේෂයෙන්ම ‘පෙරොව්ස්කයිට්’ (perovskite) නම් ද්‍රව්‍ය සිලිකන් මත යෙදීමෙන් නිපදවන ලද නව සූර්ය කෝෂ මේ වන විටත් 35% ක කාර්යක්ෂමතාවක් පෙන්නුම් කර ඇති අතර, මෙමගින් වර්ග මීටරයකින් ලබාගත හැකි විදුලි ප්‍රමාණය ඉහළ යයි. එළඹෙන දශකය තුළ මෙම නව තාක්ෂණය ප්‍රචලිත වීමත් සමඟ පොළොව මත සූර්ය ගොවිපළ සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
(BBC Inside Science ඇසුරිනි)