BREAKING NEWS
Search

ඉන්දුනීසියාවේදී පද්මේ,සලින්ත,සමන් සෙට් එක කොටුකරගත්තේ මෙහෙමයි..!

22617

ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් ලෙස සැලකෙන පුද්ගලයන් හයදෙනෙකු ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි. ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්, ජාත්‍යන්තර පොලීසිය සහ ඉන්දුනීසියානු ආරක්ෂක අංශ එක්ව දියත් කළ විශේෂ මෙහෙයුමකදී

මෙම සැකකරුවන් කොටුකර ගැනීමට හැකිවී තිබේ. අත්අඩංගුවට පත් වූවන් අතර මෑත කාලයේ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකටම සම්බන්ධ බවට චෝදනා එල්ල වූ කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ පානදුරේ නිලංග නමැති පාතාල ක්‍රියාකාරීන් ද වන බව වාර්තා වේ.

මීට අමතරව, බැකෝ සමන් නැමැත්තා සහ ඔහුගේ බිරිඳ ද මෙම කණ්ඩායම සමග අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේය. කලක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි මෙම අපරාධකරුවන් පසුව මැලේසියාවටත්, එතැනින් ඉන්දුනීසියාවටත් පලා ගොස් රහසිගතව ජීවත් වී ඇත. ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ විශේෂ ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත පදනම්ව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව බව අනාවරණය වේ.

විශේෂයෙන්, කෙහෙල්බද්දර පද්මේ නමැත්තා පසුගියදා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කෙරුණු ගණේමුල්ලේ සංජීව නැමැති පාතාල නායකයාගේ ඝාතනය විදෙස් රටක සිට මෙහෙයවූ බවට ප්‍රධාන චෝදනා ලැබූවෙකි. මෙම අත්අඩංගුවට ගැනීමත් සමග මෙරට ක්‍රියාත්මක තවත් සංවිධානාත්මක අපරාධකරුවන් කිහිප දෙනෙකු පිළිබඳව ද තොරතුරු හෙළිවී ඇති අතර, ඔවුන් ද නුදුරේදීම නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවනු ඇතැයි විමර්ශන අංශ විශ්වාසය පළ කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!