BREAKING NEWS
Search

කලපුවට වටේ වට 30ක් කැරකුනත් තුර්කි ගුවන් යානයේ සිටි මගීන් කිසිවක් දන්නෑ – යානයේ තෙල් බිඳක් මුහුදට නොදා හදිසි ගොඩබෑමක් කල වීර ගුවන් නියමුවෙක්..!

9105

කටුනායක සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්වීමට ගුවන් ගතව කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ගොඩබැස්සූ තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයේ සිටි මගීන් කිසිවකු හෝ එම යානයට සිදුවූ හදිසි තත්ත්වය සම්බන්ධයෙන් දැන සිට නැතැයි කටුනායක ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම ගුවන් යානයෙහි සිටි මගීන් 202 ක් සිට ඇති අතර, ඔවුන්ට අවශ්‍ය කෑම බීම සහ අවශ්‍ය පහසුකම් සපයා ඇති යානයේ කාර්ය මණ්ඩලය ඔවුන්ට මෙම හදිසි තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැති බව ද වාර්තා වනවා.

පැය දෙකකට අධික කාලයක් හලාවත කලපුව සහ මුහුදු සීමාවේ පියාසර කරමින් යානයේ ඉන්ධන දහනය කර ඇති එම යානයේ ගුවන් නියමුවා යානය ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපලට ගොඩබා තිබුණේ අද (17) අලුයම 12.27ටයි.

ඒ මොහොත වන විට කටුනායක ගුවන් තොටුපලත්, මීගමුව හා ඒ අවටත් හිදීසි තත්ත්වයක් යටතේ සූදානම්ව පැවැති බව හෝ තමන් පැය දෙකහාමාරකට වැඩි කාලයක් ගුවනේ එක ප්‍රදේශයකම සැරිසරන බවක් හෝ එහි සිටි කිසිදු මගියකු දැන නොසිට ඇති බවත්, යානය නිරුපද්‍රිතව ගොඩබෑමෙන් පසු ‘අපි මේ ඉන්නේ පාකිස්තානයේ දැයි” එම මගීන් විමසා ඇති බවටත් ගුවන් තොටුපල ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් පැවසෙනවා.

යානය නිරුපද්‍රිතව ගොඩබෑමෙන් අනතුරුව සියළු මගින්ට සිදුවූ කාර්මික දෝෂය සම්බන්ධයෙන් නිවේදනය කර තිබූ අතර, පසුව එම මගීන් ආරක්ෂිතව ඉවත් කර ගුවන් තොටුපළ අවට හෝටල් වෙත යොමු කිරීමට කටයුතු කළ බව කටුනායක ගුවන් තොටුපල කාර්ය භාර නිලධාරියා සඳහන් කරනවා.

මේ වන විට එම ගුවන් යානය අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවද කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසුවා.

මෙම ගුවන් යානය ගොඩබැස්වීම සිදුකරන අවස්ථාවේදී එහි ඉදිරි රෝද ක්‍රියාත්මක වන හයිඩ්‍රොලික් පොම්ප පද්ධතිය පුපුරා තෙල් වෑහෙමින් තිබී ඇති අතර, ඒ තෙල් කටුනායක ගුවන් තොටුපල ධාවන පථය පුරා විසිරී තිබූ බව සඳහන්.

පසුව අද (17) උදෑසන පැයක පමණ කාලයක් ගුවන් පථය වසා දමා එය සෝදා පිරිසිදු කිරීමට ගුවන්තොටුපල කාර්ය භාර නිලධාරින් තීරණය කර තිබුණා. ඒ අනුව, අද (17) උදෑසන කටුනායක ගුවන් තොටුපලට පැමිණී ගුවන් යානා කිහිපයක්ම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත හරවා යැවූ බව ද ගුවන් තොටුපල කාර්ය භාර නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

මේ වන විට කටුනායක ගුවන් තොටුපල යථා පරිදි ක්‍රියාත්මක වන බවද එහි කාර්ය භාර නිලධාරියා පැවසුවා.

තුර්කි ගුවන් සේවයට අයත් ටී.කේ.- 733 දරන මෙම ගුවන් යානයේ නියමුවා විශාල කාර්ය භාරයක් ඉටු කර ඇති බවත් ඔහු යානයේ තෙල් මුහුදට මුදා නොහැර තෙල් දහනය වනතෙක් ගුවනේ වට 30 සිට ඇති බවත් කාර්ය භාර නිලධාරියා සඳහන් කළා.

ඒ අනුව මෙම නියමුවා පරිසර සම්මුතියට අනුව මුහුදට තෙල් නොහලා ඒවා දහනය වන තෙක් හලාවත මුහුදු ප්‍රදේශය වෙත ගුවන් යානය රැගෙන ගොස් අඩි 4,000 ක පමණ උසකින් නොට්ස් 140 ක පමණ වේගයකින් පියාසර කරමින් ගුවන් යානයෙහි වූ ඉන්ධන , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට අවශ්‍ය ප්‍රමාණය පමණක් ඉතිරි කර ගනිමින් කටයුතු කර ඇතැයි වාර්තා වෙනවා.

තුර්කි ගුවන් සේවයට අයත් ටී.කේ.- 733 දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් මගීන් 202 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු රැගෙන පෙරේදා (16) රාත්‍රී 10.00 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා ගුවන් ගත වුණි.

එම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත ඒ.- 330 එයාර් බස් වර්ගයේ විශාලතම මගී ගුවන් යානයක්.

මෙම ගුවන් යානය පිටත්වී සුළු වෙලාවකින් එහි රෝද පද්ධතිය නිසි පරිදි ගුවන් යානය තුළට හැකිලීම සිදු නොවන බව ගුවන් නියමුවාට දැන ගැනීමට හැකි වී තිබුණි .

ඒ අනුව පැය දෙකකට අධික කාලයක් උඩු ගුවනේ සැරිසැරූ ගුවන් යානය අද (17) අලුයම 12.27 ට ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට එහි නියමුවා සමත් වූයේ ඒ අයුරින්.

පැය දෙකකට අධික කාලයක් ගුවනේ සැරිසැරී මේ යානය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ ගිලන් රථ , ගිනි නිවීම් රථ , වෛද්‍ය කාර්යය මණ්ඩල , ගලවා ගැනීමේ භටයන් මෙන්ම මීගමුව කළපුව තුළ ද විශේෂ බෝට්ටු සහ ගළවා ගැනීමේ භටයන් ස්ථාපිත කර තිබුණා. විශේෂයෙන්ම මෙරට ගුවන් තොටුපල මෙන්ම හලාවත ප්‍රදේශයේ මුහුදු සීමාවේ සියළු ආරක්ෂක විධිවිධාන තර කර සීරුවෙන් සිටියදී ගුවන් යානයේ සිටි මගීන් 200කට වැඩි පිිරිස ඒ කිසිත් නොදැන සිටීම කෙතරම් සුවිශේෂී කරුණක්ද? මේ හදීසි ගොඩබෑම ගැන ගුවන් මගීන් දැන ගත්තේ නම් ගුවන් නියමුවාට නිරුපද්‍රිතව ඔහුගේ කාර්ය සිදුකිරීමට නොහැකි වනු ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *