BREAKING NEWS
Search

කෙහෙල්බද්දර පද්මෙලා නමින් බලවතුන්ගේ දේපල…?

5456

ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී ඉකුත්දා අත්අංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස නීති විරෝධීව උපයාගත් මුදල්වලින් මෙරට මිලදී ගෙන ඇති රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ තහනම් කිරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය සූදානම් වෙයි.

එම සංවිධානාත්මක අපරාධකරුවන් නීතිවිරෝධී අයුරින් උපයාගෙන ඇති එම චංචල හා නිශ්චල දේපළ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අදාළ දේපළ කඩිනමින් තහනම් කිරීමට අවශ්‍ය නියෝග ලබාගන්නා බව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

ඉතා රහසිගත මෙහෙයුමකින් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ කොමාන්ඩෝ සලින්ත ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම, ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර තිබෙන සහ ඩුබායිහි, ඉන්දියාව ඇතුළු රටවල සැඟවී සිටිමින් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම් ඇතුළු සංවිධානාත්මක අපරාධ සිදුකරන පුද්ගලයන් රැසක් නීති විරෝධීව උපයාගත් මුදල්වලින් මෙරට චංචල හා නිෂ්චල දේපළ රැසක් මිලදී ගෙන තිබෙන බව මේ වන විට කරුණු අනාවරණය වී තිබෙනවා’’ යැයි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාස‍යේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියකු සතිඅග ‘අරුණ’ට පැවැසීය. මෙලෙස නීතිවිරෝධීව උපයාගත් මුදල්වලින් මිලදී ගත් දේපළ අතර සුඛෝපභෝගී නිවාස, වටිනා ඉඩම්, හෝටල, අධිසුඛෝපභෝගී මෝටර් රථ, රත්රන් ඇතුළු දේපළ රැසක් තිබෙනවා.

ඇතැම් සංවිධානාත්මක අපරාධකරුවන් ඔවුන්ගේ හිතවතුන්, ගෝලයන් නමින් එම දේපළ මිලදී ගෙන තිබෙන බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා. රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් එම දේපළ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තාකර තහනම් නියෝග ලබාගැනීමට කටයුතු කරනවා’’ යැයි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව දේශපාලකයන්ගේ හා බලවතුන්ගේ නමින් දේපළ මිලට ගෙන තිබේ ද යන්න සම්බන්ධයෙන් ද පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඉෂාර රත්නකාර
Aruna




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!