ස්පාඤ්ඤයේ වැලෙන්සියා කලාපයේ ජනාධිපති කාර්ලෝස් මාසෝන් පසුගිය වසරේ දී ක්ෂණිකව ඇතිවූ දරුණු ගංවතුර ආපදාව හැසිරවීමට අපොහොසත් වූ බවට පිළිගනිමින් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මාස ගණනාවක් තිස්සේ පැවති මහජන පීඩනය හේතුවෙන් ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
2024 ඔක්තෝබර් 29 වන දින වැලෙන්සියා කලාපයේ පුද්ගලයන් 229 දෙනෙකු ගංවතුරෙන් මියගොස් තිබුණා.
අසල්වැසි ප්‍රදේශවල තවත් අටදෙනෙකු මියගිය අතර, මෙය දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයේ සිදු වූ දරුණුතම ස්වභාවික විපත ලෙසයි සැළකෙන්නේ. කෙසේ වෙතත්, ගංවතුර විනාශය සිදුවෙමින් තිබියදීත්, කලාපීය ජනාධිපතිවරයා මාධ්‍යවේදිනී මැරිබෙල් විලාප්ලානා සමඟ පැය හතරකට ආසන්න කාලයක් ආපන ශාලාවක ගත කර ඇති බව අනාවරණය වී තිබුණා.
ඔහු දවසේ වැඩි කාලයක් හදිසි රැස්වීම්වලට සහභාගී නොවී සිටි බවයි චෝදනා එල්ල වුණේ.
මාසෝන්ගේ රජය හදිසි අනතුරු ඇඟවීමක් හෝ උපදෙස් වැලෙන්සියා වැසියන්ගේ දුරකථන වෙත නිකුත් කිරීමට අපොහොසත් වූ අතර, එය නිකුත් කෙරුණේ රාත්‍රී 2 න් පසුවයි.
ඒ වන විටත් මිනිසුන් දුසිම් ගණනක් මිය ගොස් සිටියා.
මාරාන්තික ගංවතුර කළමනාකරණය සම්බන්ධයෙන් කොන්සර්වේටිව් ජනතා පක්ෂයේ (PP) මාසෝන් ඉල්ලා අස්විය යුතු බවට වැලෙන්සියාවේ බහුතර ජනතා මත විමසුම්වලදී ඉල්ලා තිබුණා.
ඔහුගේ ඉල්ලා අස්වීම ඉල්ලා අඛණ්ඩ විරෝධතා පැවැත්වූ අතර, මෑතකදී ඔක්තෝබර් 25 වන දින පමණ 50,000 ක් පමණ ජනතාව වැලෙන්සියා වීදිවලට රැස්වුණා.
ඊට අමතරව, පසුගිය සතියේ ඛේදවාචකයේ පළමු සංවත්සරයේදී වින්දිතයන් සිහි කිරීමේ උත්සවයට ඔහු සහභාගී වීම, මියගිය අයගේ ඥාතීන් තවත් කෝපයට පත් කළා.
ඔවුන් උත්සවය අතරතුරදීත් ඔහුට විරෝධතා පළකළා.
මාසෝන්ගේ ඉල්ලා අස්වීමේ තීරණයට මෙම අත්දැකීම හේතු වූ බව පෙනෙන්නට තිබුණා.
ගංවතුර ඇති වූ දිනයේ ඔහු සමඟ දිවා ආහාරය ගත් මාධ්‍යවේදිනී මැරිබෙල් විලාප්ලානා, ආපදා කළමනාකරණ නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව විනිසුරුවරයෙකු ඉදිරියේ සාක්ෂි දුන් දිනයේදීම මාසොන් ඉල්ලා අස්වීම ද කැපීපෙනුණා.
විලාප්ලානා විනිසුරුවරයාට පැවසුවේ මාසෝන් “නිරතුරුවම තම දුරකථනයෙන් කෙටි පණිවිඩ යවමින් සිටි” බවත් එක් අවස්ථාවකදී ඔහුට “ඇමතුම් රාශියක්” ලැබුණු බවයි.
සිය තීරණය නිවේදනය කරමින් මාසෝන් කියා සිටියේ, “මට තවදුරටත් මෙහෙම යන්න බෑ… මා කළේ වරදක් බව මම දන්නවා. මම එය පිළිගන්නා අතර මගේ ජීවිත කාලය පුරාම ඒ වෙනුවෙන් කනගාටු වෙනවා” යනුවෙන්.
එමෙන්ම ඔහු කියා සිටියේ, එදින අර්බුදයේ වගකීම භාර ගැනීම සඳහා සිය කාලසටහන අවලංගු කළ යුතු බවයි.
නමුත් මෙම වැරදි කිසිවක් “දේශපාලන ගණනය කිරීම් හෝ වැරදි විශ්වාසය” නිසා සිදු වූ ඒවා නොවන බව ඔහු අවධාරණය කළා.
ඔහු ඉල්ලා අස්වුවද, මාසෝන් කලාපීය පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු ලෙස දිගටම කටයුතු කරනු ඇති.

Hiru News







