BREAKING NEWS
Search

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරීස්ට විශේෂ ආරක්ෂාවක්..!

2475

ඩුබායිහි සිටින බවට සැලකෙන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක්, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරීස් මහතාගේ ජීවිතයට අනතුරක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඒ මහතාගේ ආරක්ෂාව සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් අනියුක්ත කිරීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත.

ලැබී ඇති බුද්ධි තොරතුරුවල බරපතළකම සලකා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු උපදෙස් මත මෙම ආරක්ෂක විධිවිධාන යොදා තිබේ.

ඒ අනුව, ජනාධිපති නීතීඥ දිලීප පීරීස් මහතාගේ නිල නිවස මෙන්ම ඔහුගේ දෛනික ගමන් බිමන් වලදී ද ආරක්ෂාව සැපයීම සඳහා මෙම විශේෂ ඒකකය අනුයුක්ත කර ඇති බව වාර්තා වේ.

නීතීපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධරයෙකු වන දිලීප පීරීස් මහතා, මෙරට මහත් ආන්දෝලනයට තුඩු දුන් නඩු ගණනාවක පැමිණිල්ල වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිට ඇත. එම කාර්යභාරය හේතුවෙන් ඔහුට මෙලෙස තර්ජන එල්ල වන්නට ඇති බවට විශ්වාස කෙරේ. ඝාතන සැලසුම පිළිබඳව පොලිස්පතිවරයා වෙත බුද්ධි තොරතුරු ලැබී ඇත්තේ පසුගිය සති අන්තයේදීය.

ඒ අනුව, ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ විශේෂ පුහුණුවක් ලත් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක්, දිලීප පීරීස් මහතාගේ ආරක්ෂක කටයුතු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.

උපුටා ගැනීම : Gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!