රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් යන අය කාර් රථයක් තුල සැකකටයුතු ලෙස පිලිස්සී මියයාමේ සිද්ධියට අදාලව වැඩිදුර විමර්ශනය සම්බන්ධව පොලිසිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
2012.05.17 වන දින නාරාහේන්පිට පොලිස් වසමේ පාර්ක් පාර ශාලිකා ක්‍රීඩාංගණය අසලදී හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් යන අය ගමන්කල මෝටර් රථය තාප්පයක ගැටී එම අය මියයාම සම්බන්ධව මූලික විමර්ශන කටයුතු නාරාහේන්පිට පොලිස් ස්ථානය මඟින් ආරම්භ කර තිබූ අතර මෙය රිය අනතුරක් වශයෙන් විභාග කර කාර් රථයේ රියදුරු වශයෙන් සිටි මෙම අය මියගොස් ඇති බවට තීරණය කර විමර්ශන කටයුතු අවසන් කර තිබුණි.
එසේ තිබියදී මෙය සැකකටයුතු මරණයක් බවට එවකට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස්පතිතුමා වෙත වාර්තා කිරීමෙන් පසු පොලිස්පතිතුමාගේ නියෝග අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර 2015.08.10 වන දින ගරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි විශේෂඥ වෛද්‍ය කමිටුවක් ඉදිරියේ මෘත ශරීරය ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කර ඇත. එහිදී මෙම දේහයේ ඇතැම් අස්ථි කොටස් අස්ථාන ගත වී ඇති බවට අනාවරණය වීමෙන් පසු මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මඟින් තහවුරු වී ඇත.
ඒ අනුව, මෙහි ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කර ඇති අතර මිය ගිය වසීම් තාජුඩීන් යන අය ගමන්ගත් කාර් රථය පිටුපස එදින වෙනත් සැකකටයුතු වාහනයක් ගමන්කර ඇති බවට CCTV කැමරා දර්ශන මගින් අනාවරණය කරගෙන ඇත. තවද එම රථයට පුද්ගලයෙකු ගොඩ වී ඇති බවට ද නිරීක්ෂණය වී ඇති අතර එම පුද්ගලයා හදුනා ගැනීම සඳහාද විමර්ශන ආරම්භකර තිබිණි.
මේ අතර 2025.02.18 වන දින මිද්දෙණිය ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ විදානගමගේ අනුර ප්‍රියන්ත කුමාර නොහොත් කජ්ජා නැමති අය සහ ඔහුගේ දරුවන් දෙදෙනා සම්බන්ධව මියගිය කජ්ජා නැමති අයගේ බිරිද විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙමින් පසුගියදා මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බැකෝ සමන් යන අය තම සැමියාගේ සහ දරු දෙදෙනාගේ ඝාතනට සෘජු සම්බන්ධයක් ඇති බවට සඳහන් කර ඇත.
මියගිය විදානගමගේ අනුර ප්‍රියන්ත කුමාර නොහොත් කජ්ජා නැමති අය විසින් ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය නාලිකාවකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ද රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධව යම් කරුණු අනාවරණය කර තිබිණි.
එසේම වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාල විමර්ශන වලදී ලබාගත් CCTV දර්ශන විමර්ශන නිලධාරීන් විසින් මියගිය කජ්ජා නැමති අයගේ බිරිඳට පෙන්වා ඇති අතර, එම ර්දර්ශන වල සිටින පුද්ගලයා තමා සමග වසර 17ක පමණ කාලයක් විවාහ ජීවිතය ගතකල තම ස්වාමි පුරුෂයා බවට හදුනාගෙන ඇත.
තවද තම ස්වාමි පුරුෂයාට කොන්දේ අමාරුවක් තිබුණු බවත්, එම හේතුවෙන් ඔහු නිතරම කොන්දට අත්දෙක තබාගෙන සිටින බවත්, මෙම CCTV දර්ශන වල සිටින පුද්ගලයාද එම ආකාරයෙන්ම කොන්දට අත්දෙක තබාගෙන සිටින බවත්, මෙම හේතූන් මත දර්ශනවල සිටින පුද්ගලයා තමාගේ ස්වාමි පුරුෂයා බවට හදුනාගත හැකි බවත් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරගෙන යනු ලබයි.