BREAKING NEWS
Search

තමන්ගේ ගෙදර වතුරෙන් යට වෙද්දි, දහස් ගාණකට කන්න හදලා දුන්න  ප්‍රසිද්ධියට අකමැති ගම්පොළ ප්‍රගාෂ්.

328

ප්‍රසිද්ධියට මං කැමති නෑ…පුතයි දුවයි බේරුණේ අනූ නවයෙන්…

මිනිස්සු මාව විශ්වාස කරනවා කියලා දැනුනහම මට වෙන මොනවත් ඕන නෑ කියලා හිතුනා
අපි අයින් වෙලා විනාඩි දහයකින් ගෙදරම වතුරට යට වෙලා ගියා…
මහ වැස්සත් ගංවතුරත් නිසා තමන්ගේ දේපළවලට හානි වෙලා තිබුණත් තමන්ගේ අතේ තියෙන මුදලින් මිනිස්සුන්ට පිහිටක් වෙන්න සරණක් වෙන්න හිතපු මහත්මා ගතිවලින් යුත් පුද්ගලයෙක් ගැනයි මේ කතාව…!
ඔහු නමින් ටී. ප්‍රගාශ්…

දෙදාහ වසරෙදි ගම්පොළ පදිංචියට එන්නේ, ලූබිණී ඔහුගේ ආදරණීය බිරිඳ විවාහ කර ගැනීමත් සමගය.
එතෙක් පොඩි පොඩි ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා අත්දැකීම් තිබුණ නිසා දෙන්නම එකතුවෙලා ගම්පොල නුවරඑළිය පාර ආරම්භ වෙන තැනම, (ගම්පළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට) විවාහ උත්සව ශාලාවක් ආරම්භ කළේ, කාටවත් අත නොපා ජීවත් වෙන්න හොඳම ක්‍රමය මේක කියලා හිතාගෙන.
ප්‍රගාෂ්ගේ ව්‍යාපාර ස්ථානය සෆායා හිල්ස් නමින් වන විවාහ සහ උත්සව ශාලාවක්. සිංහල දෙමළ මුස්ලිම් කිසිම භේදයක් නැතුව හැමදෙනාම ප්‍රගාෂ් එක්ක බොහොම හිතවත්.

ඒ ළඟම ඉන්න තවත් පදිංචිකරුවෙක් තමයි හුසේන් මොහොමඩ්. ඔහු වසර හතළිහකට ආසන්න කාලයක් ගම්පොළ පදිංචිකරුවෙක්. ප්‍රගාෂ්ගේ දන්සලින් කෑම කන්න ආපු අය අතරේ ඇඳිවත විතරක් ඉතිරි වුණ මිනිසුන් ඕනෑ තරම් හිටියා.

ඒ අය කැටුව ගිහින් අලුත් ඇඳුමක් දෙන්න තරම් හුසේන් මොහොමඩ් හිතෛෂී වුණා. ඒ සහෘදත්වය තුළින් විශාල පිරිසකට සහය දෙන්න හුසේන්ට පුළුවන් වුණා. මොකද ඒ වන විට හුසේන් ළඟ තිබුණු අලුත් ඇඳුම් මලු දෙක තුනක්ම එයා ප්‍රගාෂ්ගේ ව්‍යාපාරික ස්ථානය වෙත ගෙනැල්ලයි තිබුණේ.

“උදේ හවස මහවැලි ගං ඉවුරේ ඉන්න අපිට අවුරුදු 25ක් තිස්සේ ගඟේ වතුර වැඩි වෙන එක ගැන ඕනෑතරම් අත්දැකීම් ලැබිලයි තිබුණේ…ඒත් එදා ගේ ඇතුළට වතුර ඇවිත් බලාගෙනම ඉද්දි ටිකෙන් ටික වතුර වැඩි වෙන්න පටන් ගත්තා. එතන ලොකු අමුත්තක් දැනුනා වෙනද වගේ නෙවෙයි වතුර වැඩි වෙන්නේ ඉක්මනින් බව අපි හැමෝටම හැඟුණා.

දුවයි පුතයි online classes වල ඉන්නේ. ෆෝන් එකේ අවධානයෙන් ඉන්න හින්ද කිසිම දෙයක් එයාලට ඇහෙන්නේ නෑ. එහා ගෙදර කට්ටිය එයාලගේ කාමරවලට තට්ටු කරලා වතුර වැඩි වෙනවා කියලා තියෙනවා. ඒ පාර තමයි ඒ දෙන්නා පාරට දුවගෙන ආවේ. ගෙදරින් බඩුවක් අරගෙන යන්න ඕනේ කියන හැඟීමක් අපිට ඒ වෙලාවෙ නෑ. අපි හැමෝම සෆායා එකට ආවා විතරයි ගෙදර උඩටම වතුර ඇවිත්. ගෙදර තියෙන්නේ පල්ලෙවෙල. සෆායා එක තියෙන්නේ ගම්පොළ එතනට එන්න විනාඩි දහයයි ගත වෙන්නේ.

ඒ වෙනකොටත් වටේ දන්න අඳුනන මිනිස්සු පනහක් විතර සෆායා එක ළඟට ඇවිල්ලා හිටියා කොහෙද යන්නේ කියලා අරමුණක් නැතිව. මං ඒ හැම දෙනාටම කිව්වා අපේ හෝල් එක ඇතුලට එන්න කියලා. වතුර සැර දකිද්දි මට දැනුන හොඳම දේ තමයි ඉතා හොඳ ආරක්ෂිත තැනකට යන්න ඕනේ කියන එක. සෆාය හෝල් එකේ තට්ටු තුනක් තියෙන නිසා අපි හැමෝම තුන්වෙනි තට්ටුවට ගියා.

ඒ වෙලාවේ ඉඳලා වතුර බැහැලා යනකම්ම කට්ටිය හිටියේ අපේ හෝල් එකේ. රටේ ඈත දුරබැහැරින් සහන සේවා සඳහා එන අයත් මේ වෙනකම්ම සෆායා එකේ නතරවෙනවා. එයාලට ඉඳුම් හිටුම් දෙන එක මගේ හිතට ලොකු සතුටක්. මම ඒ අයටත් කන්න බොන්න දෙනවා.

විසි අට වෙනිදා පාන්දර වෙනකොට ගඟ කිට්ටුව තියෙන හුඟක් ගෙවල් වතුරට කඩාගෙන යනවා ඇහැටම පෙනුනා. ඒ වෙලාවේ මම හිතා ගත්තා යමක් නැතිවෙන්න යන්නේ සුළු මොහොතයි නේද කියලා. ඒ වෙනකොටත් ඇතුලේ හිටපු පනහකට හැටකට හැම වේලක්ම කන්න හදලා දෙන්න කියලා මම මගේ සේවකයින්ට කියලයි තිබුණේ. තත්ත්වය දවසින් දවස දරුණු වෙන බව දැනුනා. මිනිසුන්ට යන්න එන්න තැනක් කන්න බොන්න දෙයක් නැති වෙලා කියලා දැනෙන සිදුවීම් මහා ගොඩක් පේන්න තිබුණා.

අපේ ගෙදරත් වතුරෙන් යට වෙලා හුඟක් දේවල් නැති වෙලා කියලා මට තේරුණා. ඒවට තැවිලා දුක්වෙලා පලක් නෑ කියලත් මට දැනෙන්න ගත්තා. ඉන් පස්සේ මම පිට ඉන්න කන්න නැති අයට කන්න වේලක් දෙන්න ඕනේ කියන අදහස ක්‍රියාත්මක කළා.”

ගාල්ල මාතර පැත්තෙන් බොහෝ දෙනෙක් ඇවිල්ලා ගම්පල නගරයේ සුද්ද පවිත්‍ර කළා. අසරණ මිනිස්සුන්ට බඩු බෙදලා දුන්නා. ඒ හැම වැඩක්ම කරාට ඒ අයට කන්න තැනක් තිබුණේ නැහැ.

මම පොදුවේ හැම දෙනාටම කන්න ලෑස්ති කරේ මගේ ව්‍යාපාර ස්ථානය ඉදිරිපිට. සියල්ල ලෑස්ති කරලා පාර දිහා බලනකොටම හාමුදුරුවො නමක් පාරෙ වඩිනවා දැක්කා. වෙලාවේ හැටියට දානෙ ලැබිලා නැතිව ඇති කියලා මට හිතුණා. මම කතා කළා. බලනකොට මාතර ඉඳලා මිනිස්සුන්ට සරණ වෙන්න ආපු හිමිනමක්. මං උන්වහන්සේට ආරාධනා කරා කෑම වේල ආරම්භ කරන්න. ඒ වෙද්දි කවුරුත් කාලා හිටියෙත් නෑ. මගේ මිත්‍රයා හුසේන් මොහොමඩ්. සෆායා එක ළඟම තමයි එයත් ඉන්නේ. ඒ දවස් ටිකේම එයත් මට හුඟක් උදව් කළා.

අපි දෙන්නම මේ හාමුදුරුවෝ දානෙ වළඳනකන් ළඟට වෙලා හිටියා. එතන ඉඳලා දිගටම පන්දහසක් විතර පිරිසක් ඒ දවස් ටිකේම කාලා යන්න ඇති. පාර්සල් ඉල්ලගෙන ගිය පිරිසකුත් හිටියා. බඩගින්නේ ඉන්නේ නැතුව බඩ පුරවගෙන එන අභියෝගවලට මුහුණ දෙන්න ඒ මිනිස්සුන්ට පුළුවන් වුණා නම් මට ඒ ඇති.”

 “මං කලේ පුංචි උදව්වක්. ඇත්තටම ඇඳුමක් ඉතිරි වුණේ නැති මිනිස්සු විඳින දුක මෙදා මට හොඳට තේරුණා. ඒ උදව්ව කරන්නත් මට පාර හදලා දුන්නේ ප්‍රගාෂ් . ඒ පින් ඔහුටත් අයත් වෙන්න ඕනේ. මම දැන් වනතුරු ගම්පොල ජීවත් වෙච්ච කාලය තුළ මේ වගේ ව්‍යසනයක් දැකලා තිබුණේ නැහැ. මගේ අම්මා සිංහල බෞද්ධ. තාත්ත මුස්ලිම් දෙන්නම රෝහල්වල සේවය කළ රජයේ සේවකයින්. මම පුංචි කාලේ දළදා මාලිගාවට ගිහිල්ලත් තියෙනවා අම්මත් එක්ක. හොඳ නරක හරියට තේරුම් අරගෙන මිනිස්සුත් එක්ක එකා වගේ ඉන්න තමයි ඒ අය අපිට ඉගැන්නුවේ. අම්ම තාත්තා උගන්නපු දේවල් ප්‍රායෝගිකව මේ සැරේ මිනිස්සුත් එක්ක බෙදා ගන්න පුළුවන් වුණේ ප්‍රගාෂ් මහත්තයා නිසායි.” හුසේන් කියා සිටී.

ප්‍රගාෂ්ගේ බිරිඳ ලූබිණී. ඇයත් දියණිවරුන් වන ප්‍රණේහා සහ දීපශ්‍රී වගේම පුත් සන්තෝෂ්, මේ වෙලාවේ පීඩාවට පත්වෙලා හිටපු මිනිස්සුන්ට හිතට සහනයක් ගෙන දෙන වැඩවලට පුදුමාකාර සහයෝගයක් ලබාදී තිබුණා.
ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානයේ කටයුතු කරපු කීප දෙනෙකුටත් මේ ව්‍යසනයෙන් හානි වෙලයි තිබුණේ.
පොදුවේ මිනිසුන්ගේ දුක නිවාලන්න මැදිහත් වුණ ප්‍රගාෂ්, තමන් ගාව සේවය කරපු හැම කෙනෙකුටම පුළුවන් හැම විදිහටම උදව් කළේ කිසිම අවස්ථාවක කිරල මැනලා බලලා නෙවෙයි.

“මිනිසුන්ට කරදරයක් වෙන්න ගත වෙන්නේ තත්පරයක් වගේ වෙලාවක්. මගේ හිතට ලොකු වේදනාවක් තියෙනවා මිනිස්සු දුක් විඳිනකොට. මම බලන්නෙ මට පුළුවන් උපරිමයෙන් ඒ අයට පිහිට වෙන්නේ කොහොමද කියලා.
හැබැයි මම ඒ කිසිම දේකට ප්‍රසිද්ධියක් ලබන්න කැමති නැහැ. ඇත්තටම මේ විදිහට මාව හොයාගෙන ඇවිල්ලා විස්තර ගත්තත් මේවා ප්‍රචාරය කරල ප්‍රසිද්ධියක් ලබන්න මම කොහෙත්ම කැමැත්තක් නැහැ. මොකද මම මට පුළුවන් විදියට මිනිස්සුන්ට උදව් කරන කෙනෙක්.

ගම්පොළ විතරක් නෙවෙයි ගම්පොළ අවට හැම ප්‍රදේශයකම මිනිස්සු මං ගැන ලොකු විශ්වාසයක් තියලා තියෙනවා. ඒ නිසයි ඒ අය අදටත් බය නැතුව මගේ ළඟට ඇවිල්ලා ආරක්ෂාවක් ඉල්ලන්නේ. එදා වතුර ගලපු දවසේ ඉඳලා මේ වෙනකල් සෆායා එකේ ඕනෙම කෙනෙකුට ඉන්න හිටින්නත් මම ඉඩ දුන්නා. ගාල්ල මාතර පැත්තෙන් ආපු හුඟක් දෙනෙක් සෆායා එකේ නැවතිලත් ගියා.

මම කෑම දෙනව දැනගෙන හුඟක් දෙනෙක් ඒකට උදව් කරන්නත් ඉදිරිපත් වුණා. නමුත් මම මට පුළුවන් විදිහට හදපු කෑම වේල් මට ඕන වුණේ මගේ මහන්සිය යොදවලා දෙන්න.

නතර වෙලා හිටපු හැම කෙනෙකුටම උදේ තේ එක ඉඳලා දුන්නේ හිතල නෙවෙයි. සාමාන්‍යයෙන් මනුස්සයෙක් විදිහට අපි කන බොන රටාවක් තියෙනවනේ. ඒ වෙලාවට මට ඕන වෙන දේවල් අනිත් අයටත් ඕනේ වෙනවා කියන හැඟීම මට තියෙනවා.

තමන් ගාව සේවය කරපු හැම කෙනෙකුටම පුළුවන් හැම විදිහටම උදව් කළේ කිසිම අවස්ථාවක කිරල මැනලා බලලා නෙවෙයි. ඔහු දැන් පදිංචිව ඉන්නේ කුලී නිවාසයක.

ඒ විතරක් නෙවෙයි සමහර අසනීප වෙලා ඉන්න අයට, යන්න එන්න බැරි අයට, වගේම පන්සල්වල ස්වාමීන් වහන්සේලාට කෑම බීම නැති වූ අවස්ථා එමට තියෙනවා. ඒ අයට පාර්සල් හදලා යවන්නත් අපි කටයුතු කරා.
ඒ හැරුණම පාර්සල් බෙදන්න අපි සැලසුම් නොකළේ හුඟක් වෙලාවට පාර්සලේ ඉතුරු කරගෙන රෑ වෙනකන් තියා ගත්තහම කන්න බැරුව විසි කරන්න වෙයි කියන හේතුව මත. අපි කැමති ඔතලා විසි කරනවට වඩා කාලා බඩ පුරව ගන්නවාට.

මිනිස්සු කවුරුත් කැමති නැහැනේ තමන්ගේ දේවල් තමන්ට අහිමි වෙනවට. ඒත් මෙදා සැරේ මිනිස්සු තමන්ගේ සියලු දේවල් අහිමි වෙනකොට ජීවිතේ විතරක් රැකගෙන නිහඬ වෙන්නත් පුරුදු වෙලා තිබුණා. සමහරු අමාරුවෙන් දරාගන්න පුරුදු වෙලා තිබුණා. සමහරු හිතේ තියෙන ප්‍රශ්න කියන්න අකැමැති වුණා. තවත් සමහරු අතේ සල්ලි තියෙන බව පෙන්නලා කාගෙන්වත් උදව් ගන්නේ නැතුව ඉන්න හිතුවා.

මේ හැමකෙනා ගැනම මම හොඳ විමසිල්ලෙන් හිටියේ. ඇත්තටම කියනවනං මම ඒ ඒ හැමදෙනාවම තේරුම් අරගෙන මට පුළුවන් විදියට ඒ හැමදෙනාටම උදව් කළා. සමහර අයට බඩුමලු දුන්නා. සමහර අයට කෑම කන්න දුන්නා. අරගෙන යන්න දුන්නා. වතුර දුන්නා ඉන්න හිටින්න දුන්නා. මෙහෙම මිනිස්සුන්ට සලකන්න හිතක් ඇතිවීමම පිනක් කියලයි මම හිතන්නේ…”

මේ කටයුත්තට මට අන්නයි බවන් හි මනෝකාන්ත් උදව් කළා. එයා ළඟ හිටපු ළමයිත් ඇවිල්ලා උයන්න උදව් කළා. ප්‍රාදේශීය ලේකම්තුමිය වන ආත්මා ජයරත්නත් හැම වෙලාවෙම මොනව හරි උදව්වක් ඕනෙද කියලා මගෙන් ඇහුවා” ප්‍රගාෂ් කියා සිටියා. ප්‍රගාෂ්ගේ උපන් ගම මාතර අකුරැස්ස. ඔහු තමන්ට වයස අවුරුදු විස්සක් වනතුරු එහි පදිංචිව සිටියා. ඉන් පසුව ඔහු කොළඹ පදිංචියට ගොස් තිබුණා.

ව්‍යාපාර පිළිබඳව අත්දැකීම් වගේම දැනුමක් ලබා ගන්න ඔහුට හැකි වුණේ කොළඹ පදිංචිව සිටි කාලයේදී යි. ප්‍රගාෂ් ලෝකයට දුන්නේ ලොකු පණිවිඩයක්. ඔහුට ජාතිය ආගම් කුල භේද ගැන කිසිම තැකීමක් නැහැ. ඔහු කිසිම වෙලාවක තමන් කවුද අනිත් අය කවුද කියලා වර්ග කළෙත් නැහැ. හැම වචනයක් තුළම ගැබ්වෙලා තිබුණේ අපි මිනිස්සු ජීවත් වෙනවා නම් සතුටින් ඉන්න තමයි ජීවත් වෙන්නේ කියන පණිවිඩය පමණයි. සතුටින් ජීවත් වෙන්න නම් මනුස්සයෙකුට ඕන කරන කෑම බීම ඇඳුම් පැළඳුම් ඉඳුම් හිටුම් කියන ඒවා තියෙන්න ඕනේ කියන එක ඔහු නිතරම මතක් කළා. තමන්ට විතරක් නෙවෙයි අනිත් අයටත් ඒ හැමදේම ලබා දෙන්න පුළුවන් නම් එතන තමයි මනුස්සකම තියෙන්නේ කියන එකත් ඔහු අමතක නොකර අපි සමග කියා සිටියා.

මහවැලි ගංගාව දෙගොඩ තලා ගිහිල්ලා ඉතිරි කළේ ව්‍යසනයේ අඳුරු තැන් පමණක්ම නෙවෙයි. ආදරයේ කරුණාවේ මෛත්‍රියේ සැබෑම සුවඳ සමග අන්‍යයන් ගැන උණුවන හදවත් ඇති මිනිසුන් ගැන අවදි කළා. ප්‍රගාෂ් කියන්නෙත් ඒ අතර සිටින එක් ගුණ යහපත් පුද්ගලයෙක් පමණයි. ප්‍රගාෂ් වැනි සහෘද හදවත් ඇති මිනිසුන් තවත් ඕනෑ තරම් ඉන්න ඇති. මේ සටහන ඒ හැමදෙනාටමත් ගෞරවය පිණිස වේවි.
සමන්ති වීරසේකර
උපුටාගැනීමකි ස්තූතියි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *