BREAKING NEWS
Search

ප්‍රමාද වී හෝ ජනප්‍රිය වුනු අති දක්ෂ‍යා – ගාමිණී ජීවරත්න

10520

“මේ සඳ සෙවණේ නැගී
මේ තරු රැහැනේ රැඳී
සිව් සිය ගව් සුවඳ දී ඇදී
මේ තුරුනිල්ලේ වෙලී
ඇල් පවනැල්ලේ සැලී
මල් පිපිදේ යොවුන් ආදරේ….

කුමාරදාස සපුතන්ත්‍රි ගේ පද මාලාවට, රෝහණ වීරසිංහගේ සංගීතයට මෙම ගීය ගැයූ එදා 80 දශකයේ නැවුම් අතීශය මධුර හඬ සතු වූයේ කැළණී පුරවරේ සිට පැමිණී ගාමිණී ජීවරත්න නම් සුන්දර සිනාවකින් මුහුණ නිතරම සරසා ගත් ඉතාමත් ප්‍රිය මනාප තරුණයෙකුටය.

ගීතය අයත් වූයේ ‘සින්ලංකා’ සමාගම විසින් පටිගත කර බෙදා හැරුණු ‘දොරට වැඩුම’ නම් වූ කැසට් පටයටය. එහී මුල් කවරය සැරසුණේ ගාමිණී ජීවරත්න, දීපිකා ප්‍රියදර්ශනී හා සුජීවා ප්‍රියන්තිගේ රූප වලිනි. ගාමිණී ජීවරත්න මෙන්ම දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගේ ප්‍රථම ගීතය වූ ‘ සිනා පොඳක් වී’ ගීතය අයත් වූයේද මෙම කැසට් පටයටය. එලෙසම කුමාරදාස සපුතන්ත්‍රි ලියූ ‘පාලොස්වක පුරා හඳට’ ගීතය අයත් වූයේද මෙම කැසට් පටයටය. රෝහණ වීරසිංහ සංගීතවත් කළ මෙම ගීතය ගැයුවේද ඒ තාරුණ්‍යයේ සුන්දර හඬ සතු ගාමිණී ජීවරත්නමය.

‘පාලොස්වක පුරා හඳට
බැහැ නුඹ උපමා කරන්ට
කළුවන් කළු වුණත්
ඊට වැඩි රුව හින්දා
කාට නැතත් මට නුදුරුයි
හිරිමල් ලන්දා’

ගුවන් විදුලි ශ්‍රේණි ගත කිරීම තුලදී ගාමිණී ජීවරත්න තේරුණේ ‘ඇ’ ⁣ශ්‍රේණියටය. එහෙයින් ඔහුට තව තවත් නැවුම් සුන්දර ගීත කීපයක් ගැයීමට අවස්ථාව ලද අතර , පසුව එම ගීත රූපවාහිනි තිරයේ ඔහුගේ රුවින් හා හඬින් ප්‍රේක්ෂකයන් ට අසා දැක බලා ගැන්මට හැකි විය.

‘සිහිල් සඳුන් පවන් සැ⁣ලෙයි
නිවෙයි නිවෙයි ගිමන්
නුවන් පහන් කරයි දසුන්
ලොවක් මැවී රුවන්’…..

කුලරත්න ආරියවංශ ගේ රචනයට රෝහණ වීරසිංහ ගේ සංගීතයට ගාමිණී ජීවරත්න ගැයූ මෙම ගීතය, 80 දශකය තුල ජනප්‍රියම ගී ගොන්නට එකතු වී තිබුණි. එම ගීතය ඔහුට රූපවාහිනි තීරයේ සජීවීව ගැයීමට අවස්ථාවක් ලැබුණු අතර, ගාමිණී ජීවරත්න නම් මේ සොඳුරු මියුරු ගායකයාගේ රුව ප්‍රේක්ෂකයන් දුටුවේ මේ ගීතය සමඟිනි.

ගාමිණි ජීවරත්න ගේ ප්‍රථම යුග ගීතය ගැයුවේ ඉන්ද්‍රාණි බෝගොඩ සමඟය. ඒ ‘මුවරද සිඳුණු මලේ’ ය. එය රචනා කළේ ද කුමාරදාස සපුතන්ත්‍රිය. සංගීතය රෝහණ වීරසිංහගෙනි.

‘ මුවරද සිඳුණු මලේ
ඔබ ඇයි ඇඩුවේ
කඳුලැල් සැලුවේ
මා දෙනුවන් හමුවේ
වැලපෙන හිතට ඔබේ
අද නැවත මෙසේ
සිහිවීද කෙසේ
ඒ පෙම් පුවත අපේ…..’

බණ්ඩාර ඇහැලියගොඩ , ගාමිණි ජීවරත්නට හරි අපූරු ගීතයක් ලියා දුනි. ඒ ‘නාඳුනන මිනිසුන් ලෙසේ’ යනුවෙනි. එයද සංගීතවත් ⁣කළේ රෝහණ වීරසිංහ යන්ය.

‘නාඳුනන මිනිසුන් ලෙසේ
එක බිමක වෙසෙනා
අයාලේ යා හැකිද තව දුර
සොයමි විමසමි
අඳ නොවී දෙනෙතින්…..’

බණ්ඩාර ඇහැලියගොඩ දේශානුරාගීයක් ‘සුදු නෙළුම පිපුණා’ යනුවෙන් ලියූ අතර, එය එවකට පැවතී ජනවාර්ගික යුද්ධය නවත්වා සාමය පතුරවන ලෙස කල ආයාචනයක් බදු ගීතයකි. මෙය සමුහ ගීතයක් වූ අතර, ගාමිණී ජීවරත්න සමඟ මෙම ගීතය ගැයූ අනෙක් සියල්ලෝම එවකට නවකයෝය.

ඇන්ටනී නානායක්කාර , ගාමිණී ජීවරත්නට ලියූ ගීතයකි ‘අපට එරෙහි වී’ ගීතය.එලෙසම එම්.ඩී.පී. පාලිත නම් ගීත රචකයෙකු , ගාමිණී ජීවරත්නට ‘සිගිති කැකුළ අවදි වී’ කියා ගීතයක් නිර්මාණය කර දුනී. මෙම ගීත යුගල සොයා ගැන්මට අපහසු හෙයින් ඒ පිළිබඳ වැඩි කරුණු සඳහන් කිරීමට නොහැකිය.

‘මගේ ආච්චි සහ සීයා මට ඉඩමක් ලියලා දුන්නා. ඒ 1980 කාලයේ. මම ඒ ඉඩම රුපියල් 27,500/- කට විකුණලා ගීත හතරක් කළා’. මේ ගාමිණි ජීවරත්න තමා සංගීත ක්‍රේෂ්තයට ඒමට ගත් උත්සහය ගැන කී වදන්ය.
යුනයිටඩ් මෝටර්ස් සමාගමේ රාජකාරි කළ ගාමිණී ජීවරත්නට මනා පාලනයක් සහිත සුවිශේෂ වූ එමෙන්ම අතීශයින්ම සුන්දර, මධුර හඬක් සතුව තිබී, රෝහණ වීරසිංහ, කුමාරදාස සපුතන්ත්‍රි, බණ්ඩාර ඇහැළියගොඩ, වසන්ත කුමාර කොබවක, කුලරත්න ආරියවංශ වැන්නන්ගේ ඇසුර ලැබුණද, එලෙසම අතීශයින් සුන්දර ස්වතන්ත්‍ර ගීත 8ක් තැටි ගත කළ ගාමිණී ජීවරත්නට ක්‍රේෂ්ථයේ විශාල ගමනකට දොර විවෘතව තිබියදීත් ඔහු ඒ පහසු දුර නොගියේ ඇයි කියන එක නම් විශාලම ප්‍රශ්නයක් ය. ඉතාමත් අපහසුවෙන් කැපකිරීමෙන් ක්‍රේෂ්තයේ දොරටුව අභියසටම පැමිණ, එතැනින් පසු තිබෙන පහසු මාර්ගයට අවතීර්ණ නොවී ආපසු හැරී ගිය හේතුව ඔහු ව දන්නා අය එක් එක් අර්ථ කථන දුන්නද, එයට නිසි පිළිතුර දන්නේ නම් ගාමිණි ජීවරත්නම පමණි.

ඉන් පසු අව්රුදු ගණනාවක් ඔහු නිහඬව සිටියේය. එය විශාල කාලයක් විය. ඒ කාලය තුළ ඔහු සමඟ පැමිණි දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ක්‍රේෂ්ථය තුල ස්ථාවර වී සුන්දර ගී ගණනාවක් රසික රසිකාවියන්ට තිළිණ කළ අතර, චිත්‍රපට පසුබිම් ගායනයටද ඇයව තෝරා ගන්නට විය. එලෙසම ඔහු සමඟ සමුහ ගීතය ගැයීමට පැමිණී අනෙක් අයද තම තමන්ගෙ ගමන් සාර්ථක ව යන්නට විය.

ඉන්පසු බොහෝ අයට ගාමිණි ජීවරත්නව අමතක වී ගියේ ඔහුව යට කර ගෙන අලුත් ගායකයන් බිහිවීම නිසාම නොව, ඔහු කිසිදු නිර්මාණය ක් නොකෙරූ නිසාය. සුභාවිත ගී ශෛලයට වඩාත් නැඹුරු වූ ගාමිණී ජීවරත්නට ඒ තුළින් ජනප්‍රියත්වය⁣ට ඒමට නොහැකි වූයේ ගාමිණීගේ ගීත වල වෙළඳ වටිනාකමක් (Commercial Value ) නොතිබූ නිසාය. උදාහරනයකට, ගාමිණීගේ කාලයේම පැමිණි එඩ්වඩ් ජයකොඩි  ‘ කැරකෙන රෝදේ’ ‘ අකුරු මැකී නෑ ‘ ‘දොඹ මලින් මලට’ ‘ ලතා මඬුල්ලක් කථා කරනවා’ වැනි ගීත වල තිබූ වෙළඳ වටිනාකම, ගාමිණී ජීවරත්නගේ ‘පාලොස්වක පුරා හඳට’, ‘මේ සඳ සෙවනේ්’, ‘සිසිල් සඳුන් පවන් සැ⁣ලෙයි’ ‘නාදුනන මිනිසුන් ලෙසේ’ ගීතවල තිබුණේ නැත. ඒවා අතීශයින්ම මධුර ගීත , සුමියුරු ගායනා වුවද,අර ‘කොමර්ෂල් වැලියුව්’ එක තිබුණේ නැත. ගාමිණී ජීවරත්න සමඟ එකටම ගීත ක්‍රේ්ෂ්ථයට පැමිණී දීපිකා ප්‍රියදර්ශනී තම පළමු ගීතය වූ ‘සිනා පොදක් වී’ තුළින් රසික ප්‍රජාව තම දෙසට හරවා ගැන්මට හැකි වූ අතර, ‘ආජි තපර ලාහිලා’ ගීතයෙන් ඇය නොම්මර එකේ ⁣’කොමර්ෂල් ගායිකාවක්’ බවටද පත් විය. අද ඇය ලාංකීය ගීත ක්‍රේෂ්ථයේ ඉහළින්ම වැජඹෙන ගායිකාවක් වූ අතර, ඇය සුභාවිත ගීත මෙන්ම, වෙළඳ වටිනාකමක් ඇති ගීතත් සම සමව ගයන්නට විය. ගාමිණි ජීවරත්නටත් එකල කව්රු හෝ ‘රම්පෙට පොරි හැලෙන්න’ කියා බයිලා රිද්ම ගීතයක් ලියා දුන්නා නම්, අද ගාමිණී ජීවරත්නද ක්‍රේෂ්ථයේ ඉහළින්ම සිටින ගායකයෙකු බවට පත් වී සිටීමට ඉඩ තිබුණි.

ඉන්පසු ගාමිණී ජීවරත්න සුනිල් එදිරිසිංහගේ ඇසුරට වැටුණි. ඒ සුනිල්, ගාමිණීගේ ගම වූ කැළණියේම සිටින නිසා විය හැක. කෙසේ වෙතත් ඒ ඇසුර ගාමිණී ජීවරත්නට හොඳක් සිදුවුණේ නැත. එය සුනිල්ගේ වරදක් නොව, ගාමිණී තමාටම කර ගත් වරදකි. එය සිදුවුණේ මෙසේය. ගාමිණී, සුනිල්ව අනුකරණය කරන්නට ගියේය. ඔහු සුනිල් එදිරිසිංහ ගේ ගීත ඒ අයුරින්ම ගයන්නට පටන් ගතී. එයින් සිදුවුණේ අර ගාමිණී ජීවරත්නගේ අනන්‍යතාවය, ‘බ්‍රැන්ඩ්’ එක නැති වීමය. ඔහු ඔහුගේ අතීශයින්ම මධුර සුමධුර හඬ අනුකරණයට යොදා ගති. එතැන් පටන් ඔහු කැළණී පුරවරේ ඇති ප්‍රසංග වල ගී ගයන්නට විය, ගමේ පැදුරු සාජ්ජ වල ගාමිණි ජීවරත්න නැතිවම බැරි විය. ඔහු ඒ හැම ප්‍රසංගයකම , සාජ්ජෙකම ගැයුවේ, සුනිල් එදිරිසිංහ, මිල්ටන් මල්ලවආරච්චි , විල්බට් ඇන්තනී, ගුණදාස කපුගේ, ගීතය. එලෙසම ඔහු අමරදේවයන්ගේ ගීතද, ගයන්නට විය. අවසානයේ ‘ මේ සඳ සෙවනේ’ ‘ සිහිල් සඳුන් පවන්’ ‘ පාලොස්වක පුරා හඳට’ වැනි සුමියුරු ස්වතන්ත්‍ර ගීත ගැයූ ගාමිණී ජීවරත්න යටපත් වී අනන්‍යතාවයකින් තොරවු අනෙක් අයගේ ගී ගයන ගාමිණි ජීවරත්න කෙනෙක් බවට පත්විය. එම ගීත ඔහු ‘හරි රහට’ ගයන හෙයින් ප්‍රසංග වේදිකා තුළ ඉල්ලුමක් ඇති විය. එයින් සිදුවූයේ ගාමිණි ජීවරත්න යන පුද්ගලයා මැරී වෙනත් ගාමිණී ජීවරත්න කෙනෙක් ‘ප්ලාන්ට්’ වීමය. බොහෝ විට ඔහුව ඒ තත්වයට පත් වන්නට ඇත්⁣තේ ඔහුගේ අඩු ආර්ථීකත්වය ය. ඔහු ගීතයට තමාව ගැට ගස්වන්නට ඉඩ නොදී ගීතය තුළින් තම ජීවිතය ගැට ගසා ගති.

සුනිල් එදිරිසිංහ ඔහුගේ හිතේෂි මිත්‍රයෙක් බව සනාථ වන්නේ ගාමිණීගේ විවාහයට අත්සන් කිරීමට පැමිණි නිසාය. එතරම් මිතු දමක් තිබූ ඔහු සුනිල් එදිරිසිංහ යන ගමන් මග අවබෝධ කර ගෙන ඒ අනුව තමන්ගේ අනන්‍යතාවය ඔප මට්ටම් කර ගියා නම් ,අද ගාමිණී ජීවරත්න, සුනිල් එදිරිසිංහ තරමටම ජනප්‍රිය ගායකයෙකු වීමට ඉඩ තිබුණි.ඒ පිළිබඳව ඔහු කියනුයේ ඒ එක් එක් අයගේ දෛවය යනුවෙන් සිදුවන දේ බවය. මා නම් මෙය දකින්නේ ගාමිණී ජීවරත්න ගේ තිබූ දැඩි ආර්ථීක පසුබෑම නිසා සිදුවූ දෙයක් බවය. ඔහු ඔහුට හැකි පමණින් ක්ෂේත්‍රයට ඇතුල්වීමේ වපසරිය හදා ගත්තද, එතැනින් ඉදිරියට යෑමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. කිසිවෙක් ඔහුට උපකාර කළේ ද නැත. එතැනින් පසු ඔහුගේ උනන්දුව හීන වී ගියේය.

කැලණිය යනු කලාකරුවන් බොහොමයක් ජීවත් වන කලා පුරයක්ය. මාලනී ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සුනිල් එදිරිසිංහ, ලතා වල්පොල, ප්‍රීති රන්දෙණිය, කෝලිත භානු, ජනක රත්නායක, මෙන්ම එකල සිටි එචි.ඩී.ප්‍රේමරත්න, විජය ධර්මශ්‍රී, පතිරාජ එල්. එස්. දයානන්ද, කේ.ඒ.විජයරත්න, ආනන්ද ෆොන්සේකා වැන්නන්ද කැලණි පුරවරයට අයිති කීප දෙනෙකි. ගාමිණී ජීවරත්නද ඒ අතරට වැටෙනවාද, නොවැටෙනවාද යන්න කෙසේ වෙතත් කැළණී වැසියන් නම් ගාමිණී ජීවරත්න යනු සුපිරිම ගායකයෙක් යන රෙකමෙන්දෝරුවෙන් සිටියහ.

ගාමිණී ජීවරත්න තමා කව්දැයි හදුනා නොගත් බවක් බොහෝ අය කියයි. එහෙත් ඇත්ත එය නොවේ. ඔහු වටා පව්රුක් මෙන් වට කරගත් දරුණු ආර්ථීක බැම්මකින් ඔහුව කොටු වී තිබුණි. ජීවිතය ගෙන යාමට ඔහුට දැඩිව සටන් කරන්නට සිදුවූයේ ඔහු ඉතාමත් අවමව මුදල් උපයන නිසාය. එයින් ඔහු ඔහුගේ බොහෝ සිහින දිය කර හැරියේය. සුවපහසු ජීවිත,රස මුසු කෑම බීම, සුන්දර ඇඳුමි පැළදුමි, යාන වාහන, වැනි දේ ඔහුට අත් හරින්නට සිදු විය. ඉතාමත් අවම දෑ වලින් ඔහුට සෑහීමකට පත් වන්නට සිදුවිය.

අන් අයගේ ගීත ගයන්නට පටන් ගත් පසු ඔහුට නිතර සංගීත ප්‍රසංග, සාජ්ජ වලට ඇරයුම් ලැබුණි. ඒවා වලට ගියද ඔහු මුදල ඉස්සරහට දමන්නේ නැත. ඔහු නිතරම කියන්නෙ වැඩේ හොඳටම කරමු කියාය. ඉන්පසු කීයක් දුන්නත් එය සතුටින් භාර ගනී. නොදුන්නත් සතුටින් ගෙදර එයි. ගාමිණී ජීවරත්නගේ පිරිහීම ඇරඹෙන්නේ, එසේ තමන්ගේ වටිනාකම ⁣දැන නොගත් නිසාය . ඔහු ඔහුට මිලක් දමා ගැන්මට නොදත් පුද්ගලයෙක් විය.

ගාමිණී ජීවරත්න තුළ නිසි සැලැස්මක් තිබුණේ නැත. ඔහු ජීවත් වූ වටා පිටාව එයට උපකාරයක් වූයේ නැත. ඔහුගේ යහළු මිත්‍රයන් පවා සිටියේ බොහොමත්ම අවම තත්වයෙන්ය. එයින් මිදී යන්නට තරම් ගාමිණී ජීවරත්න නිසි ලෙස අධ්‍යාපනයක් ලබා සිටියේ නැත. එලෙසම ජීවිතයේ නිසි සැලැස්මක් තිබුනේ නැත. දැණුම අවම විය. තමාව බොහෝ වැදගත් යයි සම්මත මිනිසුන් පිළිගන්නා බව ඔහු දැනන් සිටියේ නැත. ඔහු නිතරම සිතුවේ එවන් අය තමන්ට විශාල ‘ බරක්’ ලෙසටය. එලෙසෙම ඔවුන්ව තමාගේ අවම මට්ටමේ ජීවිතයට නොගැලපේ යන හීන මානය ඔහු ළඟ තිබුණි. ඔහුගේ හඬට උස් පහත් භේදයකින් තොර විශාල රසික පිරිසක් මෙරට මෙන්ම පිටරටද වෙසෙන බවක් ඔහු දැනන් සිටියේ නැත. අදද දන්නේ නැත. ඔහු ගැන සමාජ මධ්‍ය වල කථා වන බවක්, ඔහු ගැයූ ගීත අගය කරන බවක් ඔහු දැන සිටින්නේ නැත. ඒ සා විශාල රසික පවුරක් ඔහු වෙනුවෙන් නිර්මාණය වන විට ඒ කිසිවක් නොදැන ඔහු කීයක් හෝ සොයා ගැනීම සඳහා ප්‍රසංග වල ගී ගයන්නට යයි. ඉන් නොනැවතුනු ඔහු ප්‍රසංග හෝ සාජ්ජ හොයා යන්නට විය.

අවසානයේදි ඔහු නැවතුනේ එක්තරා රූපවාහිණී නාලිකාවක් සංවිධානය කරන 60ට වැඩි අයගේ රියැලටි වැඩ සටහනකය. දෛවයේ සරදමක් දෝ ඒවා විනිශ්චය කරන්නට සිටි සමාජීක මණ්ඩලයේ ප්‍රධාන සමාජිකයා වූයේ මීට අව්රුදු 35 කට ඉහතදී තමා සමඟින්ම ගීත ක්ෂේත්‍රයට පැමිණී එඩ්වඩ් ජයකොඩිය. ගාමිණී එදා ගැයූ සමුහ ගීතයේ වැඩි ප්‍රමාණයක් ගැයීමට රෝහණ වීරසිංහ භාර කළේ එතැන තිබුණු සුන්දරම හඬ වූ ගාමිණී ජීවරත්නටය. එහෙත් අද ඔහු ,එදා තමාගේ පංතියේ, තමාගේ කාල වකවානුවේ ආ ගායකයා ඉදිරියේ ගීතයක් ගයා විනිශ්චයක් බලාපොරොත්තුවෙන් සිටින්නේය. දෛවය කෙතරම් මේ පුංචි අහිංසක දුප්පත් මිනිසාට සරදම් කරනවාද..? . එහෙත් මෙම තරඟාවලියේ තවත් විනිශ්චය සාමාජිකයෙක් වූ නලින් පෙ⁣රේරා කීවේ ‘ ඔබ මේ තරඟ වලට ආ යුතු කෙනෙක් නොවේ. ඔබ ඇත්තෙන්ම ගායකයෙකු බවය’.එය නිවැරදිව තේරූම් ගැන්මට ගාමිණී ජීවරත්නගේ ආර්ථීකය ඉඩ නොදෙයි.

ගාමිණී ජීවරත්න මට හමුවන්නේ ඔය අතරේදීය. මට ඔහුව සොයා යන්නට සිදු විය. ඒ මා, ඒ හඬට ඇබ්බැහි වූ නිසාය. මා ඒ දිගේ සොයා යන විට මට මේ පුංචි සොඳුරු මිනිසාව මුණ ගැසුණී. ඔහුව යළි ක්‍රේෂ්ථය ට ගැනීමට පෙර ඔහුගේ ආර්ථීකය හා මානසීකත්වයට පිළිතුරු ප්‍රායෝගිකව සොයා දිය යුතු බවක් මට වැටහුණි. එවිට ඔහුට ධෛරය යළි ලැබේ. දැන් බොහෝ දේ සැපිරමින් යනු ඇත. ගාමිණී ජීවරත්න දැන් පුනර්ජීවය ලබා ඇත. ඔහුගේ අවශ්‍ය තාවයන් එකින් එක සැපිරී යයි. ඒ අතරේ මා ඔහුව නැවත ප්‍රසංග වේදිකාවට රැගෙන ආවෙම්. පහුවුනු සැප්තැම්බරයේ විමල් පුංචිහේවා ගේ ‘තරු දිලිසෙන රාත්‍රිය’ ගී ඇල්බමය එළිදැක්වු මාගේ සංවිධානය යටතේ පැවැත්වූ ‘විමල් ගී ප්‍රසංගය’ හී ආරාධීත ගායකයෙකු ලෙස මා ගාමිණි ජීවරත්නව නැවත ප්‍රසංග වේදිකාවට ගෙන ආවෙමි.

යලි දෙසැම්බරයේ ගාමිණී ජීවරත්න වෙනුවෙන් මා සංවිධානය කරන ‘ශ්වෙත සැදෑවේ’ ඔහු ගීත 10ක් පමණ ගායනා කරන අතර, යලි ඔහුගේ ස්වතන්ත්‍ර නිර්මාණ වූ ‘මේ සඳ සෙවණේ නැගී’ ‘සිහිල් සඳුන් පවන් සැලේ’ ‘ ‘පාලොස්වක පුරා හඳට’ යන ගීත අව්රුදු ගණනකට පසු ගයනු ලැබේ. එලෙසම අමරදේවයන්, සුනිල් එදිරිසිංහ, ශාන්ති ගීත දේව, මිල්ටන් මල්ලවආරච්චි ගේ සුන්දර ගීත කීපයක් ගාමිණී ජීවරත්නගේ මධුර හඬින් මියුරුව ඇසේවි.

මා වඩාත්ම සතුටට පත්වන්නේ දැං ඔහු ඒ ප්‍රසංගයට ලක ලෑස්තිවන උනන්දුව දුටු විටය . ඇත්තෙන්ම දැං ඔහු යළි පුනර්ජීවය ලබා ඇත. ‘ශ්වේත සැඳෑව’ ඔහුගේ විශාල කඩ ඉමක් වේවි.

මා ලිපිය නිම කරන්නේ ප්‍රවීන නළු රවින්ද්‍ර රණ්දෙනියගේ බිරිඳ ප්‍රිති රණ්දෙනිය තම ගමේ මිත්‍රයා වූ ගාමිණී ජීවරත්න වෙනුවෙන් ලියා මට එවු ගීතයේ කොටසකිනි. එම ගීතයේ මුලික වැඩ කටයුතු මේ දිනවල කරගෙන යන අතර,එය නුදුරු දිනයකදී ගාමිණී ජීවරත්නගේ හඬින් පටිගත කර ශ්‍රාවකයන්ට අසන්නට හැකි වේවි.

තාවකාලික ලෝකයක් තුල
සදාකාලික දේ නැතේ
ඇති වෙනා මෙි සැම දෙයක් තුල
නැතිවෙනා අරුතක් නැගේ
පියෙන් පිය නැග අනන්තයේදිත්
නොමැත ආශා සං සිඳී
හඬ හඬා මේ ලොවට ආ අපි
යන්නෙවත් සතුටින් නොවේ.

උපුටා ගැනීම ශෝන් මැක්ස්මස් දිසානායකගේ ෆේස්බුක් ගිණුමෙනි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *