BREAKING NEWS
Search

පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරියට බාධා කිරීම හා තර්ජනය කිරීම සම්බන්ධයෙන්නී තීඥවරයා අත්අඩංගුවට ගන්න පොලීසිය නිවසට..!

1273

ගල්කිස්ස අධිකරණය පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බවට වාර්තා වු සිද්ධියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඔහුගේ නිවසට ගොස් තිබේ.

පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරියට බාධා කිරීම හා තර්ජනය කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පැවසුවේය.

අද දෙරණ කළ විමසීමක දී පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි අදාළ නීතිඥවරයාගේ නිවසට පොලිසිය පැමිණි අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැති බවය.

පසුගිය සිකුරාදා දිනයේ ගල්කිස්ස අධිකරණ භූමියෙන් නීතිඥවරයෙකුගේ මෝටර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බවට චෝදනාවක් එල්ල වී තිබුණි.

එම අවස්ථාවේ අදාළ නීතීඥවරයා ද තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු සමග පොලිස් කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැනවදින වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු විය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය ද නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ නීතීඥවරයා විසින් පොලිස්පතිවරයා සෘජුව අමතා සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවට අසත්‍ය මතයක් සමාජ ගතවෙමින් පවතින බව එම නිවේදනයේ දැක් වේ.

නීතීඥවරයා විසින් එම අවස්ථාවේදී දුරකතනය හරහා පොලිස්පතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ ගන්නා බවට ඒත්තු ගැන්වෙන ආකාරය ඔහු විසින්
” ප්‍රියන්ත මගේ ජුනියර් බැජ් එකේ…” ”ප්‍රියන්තට කියන්න මට ගන්න කියන්න. නැත්තම් ප්‍රියන්තගේ නම්බරේ දෙන්න….” යනුවෙන් සඳහන් ප්‍රකාශ එම වීඩියෝ පට දර්ශනවල දක්නට ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම සිදුවීමට අදාළව එම නීතිඥවරයා සහ පොලිස්පතිවරයා අතර කිසිදු දුරකතන සංවාදයක් සිදු වී නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර තිබේ.

පොලිස්පතිවරයා අදාළ සිද්ධිය දැන ගැනීමෙන් අනතුරුව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට සහ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සිදුවීම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට නියෝග කර ඇති අතර කිසිදු අවස්ථාවක සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ලබාදී නොමැති බව සඳහන් වේ.

කෙසේවෙතත් පොලිස්පතිවරයා විසින් අදාළ නිලධාරින් දුරකතනයෙන් සම්බන්ධ වන අවස්ථාව වනවිට සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබු බව පොලිසිය පැවසුවේය.

සිද්ධියට අදාළ නඩු විභාගය අද දිනයේ යළි කැදවීමට නියමිතය.

Source : Ada DERANA




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!