BREAKING NEWS
Search

බස් රථයකදී ආදිවාසී තරුණයෙකු අත්අඩංගුවට ගන්න ගිහින් ඕස්ට්‍රෙලියානු පොලිසියට වැඩ වරදී

761

ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවරදී බස් රථයක ගමන් කරමින් සිටි 17 හැවිරිදි ආදිවාසී (Aboriginal) තරුණයෙකු, වැරදි පුද්ගල හඳුනාගැනීමක් මත පොලිසිය විසින් ගිනි අවි එල්ල කර බස් රථයෙන් ඉවතට ඇද දමා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් වාර්තා වන අතර, මෙය ජාතිවාදී පදනමකින් සිදුකළ ක්‍රියාවක් (racial profiling) බවට අදාළ තරුණයාගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති.

 

පසුගිය සතියේ මෙම තරුණයා සිය ඥාතීන් බැලීම සඳහා තනිවම බස් රථයකින් ගමන් කරමින් සිටියදී, පොලිස් රථ විසින් අදාළ බස් රථය නවතා ගිනි අවි අතැතිව ඊට ඇතුළු වී ඇත. පොලිස් නිලධාරීන් විසින් තරුණයාගේ නම හෝ අනන්‍යතාවය විමසීමකින් තොරවම ඔහුව බලහත්කාරයෙන් බස් රථයෙන් පිටතට ගෙන, බිම දමා මුහුණ පොළොවට සිටින සේ තබා මාංචු දමා ඇති බව පවුලේ අය පවසති. කෙසේ වෙතත්, පසුව පොලිස් නිලධාරීන් සතුව තිබූ ජංගම දුරකථනයක ඡායාරූපයක් සමඟ සැසඳීමේදී තමන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැරදි පුද්ගලයෙකු බව වටහා ගත් පොලිසිය, වහාම මාංචු ඉවත් කර සමාව අයැද තිබේ.

 

 

මෙය හුදෙක් වැරදි වැටහීමක් නොව දරුවෙකුගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත්, කිසිදු වරදක් නොකළ නිර්දෝෂී දරුවෙකු වෙත ගිනි අවි එල්ල කර බිම දමා දණහිස්වලින් තද කර තබා ගැනීම පොලිස් රාජකාරියක් නොව හිංසනයක් බවත් ඔහුගේ පවුලේ සාමාජිකයෝ ව්‍යවස්ථාදායක සභාව ඉදිරිපිට රැස්වී දැඩි ලෙස අවධාරණය කළහ. මෙම දරුණු සිදුවීම හේතුවෙන් මේ වන විට දැඩි ලෙස කම්පනයට පත්ව සිටින එම තරුණයා නිවසින් පිටතට යාමට හෝ බස් රථයක ගමන් කිරීමට පවා බියක් දක්වන බවත්, දරුවාට අවශ්‍යව තිබුණේ රැකවරණය මිස ගිනි අවි සහ භීතිය නොවන බවත් ඔවුහු පැවසූහ.

තම දරුවාට සිදුවූ මෙම අසාධාරණය වෙනුවෙන් වගවීමක් සහ යුක්තියක් බලාපොරොත්තු වන පවුලේ සාමාජිකයන්, සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන්ගේ ශරීරයේ සවි කර තිබූ කැමරා (body-worn camera) දර්ශන තමන්ට ලබා දෙන ලෙසත්, දරුවාට අවශ්‍ය උපදේශන සේවා සඳහා ප්‍රතිපාදන ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිති. එසේම, පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන තෙක් අදාළ නිලධාරීන් සේවයෙන් ඉවත් කර තැබිය යුතු බවත්, පොලිසිය තුළ පවතින ජාතිවාදී වර්ගීකරණයන් පිළිබඳව විධිමත් පිළිගැනීමක් සහ ප්‍රසිද්ධියේ සමාව ගැනීමක් සිදු කළ යුතු බවත් ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!