BREAKING NEWS
Search

මහාධිකරණ විනිසුරුවරයකුගේ වාහනය හරස් කර නවත්වා තර්ජනය කරලා – පොලිසි ගියාම විනිසුරුගේ සමාව දීම දැක වරදකරු පුදුම වෙලා..!

4595

මහාධිකරණ විනිසුරුවරයකුට තර්ජනය කරමින් හා අපහාසාත්මක ලෙස බැන වදිමින් මෝටර් රථයකින් මාර්ගය අවහිර කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් රියැදුරකු, විනිසුරුවරයාගේ ඉල්ලීම මත, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් තොරව නිදහස් කර ඇති බව කිරිබත්ගොඩ පොලීසිය වාර්තා කරයි.

සිද්ධියට සම්බන්ධ සැකකාර රියැදුරා හමුවීමට කිරිබත්ගොඩ පොලිස් ස්ථානයට පැමිණි එම මහාධිකරණ විනිසුරුවරයා, රියැදුරා කෙරෙහි අනුකම්පා සහගතව සලකා බලා, දැඩි අවවාදයක් ලබා දී ඔහුව මුදා හරින ලෙස පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.

විනිසුරුවරයාගේ මෙම ඉල්ලීම පරිදි, පොලීසිය විසින් රියැදුරාට තරයේ අවවාද කර මුදා හැර ඇත.

තමන් සිදු කළ බරපතල වරදට මහාධිකරණ විනිසුරුවරයා සමාව දීම ගැන පුදුමයට පත් වූ රියැදුරා, විනිසුරුවරයාට වැඳ සමාව ගෙන ඇත. අනතුරුව, පොලිස් භාරයට ගෙන තිබූ මෝටර් රථයද රැගෙන ඔහු පොලිස් ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

තවදුරටත්, තමා අතින් මෙවැනි වරදක් යළි කිසි දිනක සිදු නොවන බවටත්, නීතිගරුක හා විනීත පුද්ගලයකු ලෙස කටයුතු කරන බවටත් රියැදුරා එහිදී ප්‍රතිඥා දුන් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිද්ධිය වූයේ පසුගිය දහවනදා උදෑසන, කොළඹ අලුතඩේ උසාවි සංකීර්ණයේ සේවය කරන මහාධිකරණ විනිසුරුවරයකු සිය නිල රථයෙන් අධිකරණය බලා ගමන් කරමින් සිටියදීය. කැලණිය විශ්ව විද්‍යාලය අසල පරණ නුවර පාරේදී, මෝටර් රථ රියැදුරකු මාර්ගය හරස් කර නවත්වා, රථයෙන් බැස විනිසුරුවරයා ගමන් ගත් නිල රථයේ දොර විවෘත කර, අපහාසාත්මක වචනවලින් බැන වදිමින් තර්ජනය කර ඇති බව පොලිස් වාර්තාවල දැක්වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!