ලංකාව හා ඉන්දියාවේ ලබන වසරේ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට
සුදුසුකම් ලැබූ කණ්ඩායම් 20 දැන් ස්ථිර කරගෙන තිබෙනවා.
කණ්ඩායම් 20කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලියේ අවසන් ස්ථාන තුන පසුගිය සතියේ ස්ථිර වූයේ නේපාලය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් ඔවුන්ගේ ස්ථාන ආසියා/නැගෙනහිර ආසියා-පැසිෆික් සුදුසුකම් ලැබීමේ තරගාවලියන් ඔස්සේ තහවුරු කර ගනිමින්.
නේපාලය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන පිට පිට දෙවැනි අවස්ථාව හා සමස්ත වශයෙන් තෙවැනි අවස්ථාවයි මේ. ඕමානය සිවු වැනි වරටත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෙවැනි වතාවට හා 2022 වසරෙන් පසුව පළමු වරටත් සුදුසුකම් ලබා සිටිනවා.

2026 වසර මුල් කාලයේදී පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා යුරෝපීය කණ්ඩායම වන ඉතාලිය මංගල වතාවට පෙනී සිටින්නේ ඔවුන් නෙදර්ලන්තය සමග යුරෝපීය සුදුසුකම් ලැබීමේ තරග වටය හරහා ඉදිරියට පැමිණෙමින්.
මෙවර තරගාවලිය ද පැවැත්වෙනු ඇත්තේ පසුගිය 2024 තරගාවලියේ සැකැසුම ට ම අනුව කණ්ඩායම් 20 කණ්ඩායම් පහ බැගින් කොටස් හතරකට බෙදෙමින්. අනතුරුව ඒ ඒ කොටසින් ඉහළ ට ම පිවිසෙන කණ්ඩායම් දෙක ‘සුපිරි අට’ වටයේදී කණ්ඩායම් හතර බැගින් කොටස් දෙකකට බෙදී තරග වැදීමටයි නියමිත.
ඉන්පසුව ඒ ඒ කොටස්වල පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක පිළිමළුන් පිටු දැකීමේ අවසන් පූර්ව අදියරට පිවිසෙනවා.
2026 විස්සයි20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් විස්ස:
ඉන්දියාව හා ශ්‍රී ලංකාව (සත්කාරක රටවල්), ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, අමෙරිකාව, බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය, නවසිලන්තය, පාකිස්තානය, කැනඩාව, ඉතාලිය, නෙදර්ලන්තය, නැමිබියාව, සිම්බාබ්වේ, නේපාලය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







