BREAKING NEWS
Search

පෝයදා උපාසිකාමාතාවන් දැක බ්රේක් වෙනුවට ඇක්සලේටරේ පෑගූ “L බෝර්ඩ් නෝනාගෙන් මරණ 3 යි

4053

වප් පොහෝ දින සිල් සමාදන් වීම සඳහා විහාරස්ථානයක් වෙත යමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට මරු කැඳවමින් ගම්පොළ, දොළුව ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම දරුණු අනතුරින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ගම්පොළ නගරයේ සිට ගුරුකැළේ නිල්ලඹ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක්, දොළුව විහාරස්ථානය අසලදී මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවන් පිරිසක් යටකරගෙන ගොස්, පසුව මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයකද ගැටීමෙන් මෙම විපත සිදුවී ඇත.

විහාරස්ථානය ආසන්නයේ සිටි පිරිස දුටු මෝටර් රථයේ රියදුරුවරිය, එහි වේගය පාලනය කිරීම සඳහා තිරිංග යෙදීමට උත්සාහ කිරීමේදී වැරදීමකින් වේගය වැඩි කරන පැඩලය පෑගීම හේතුවෙන් රථය පාලනයෙන් මිදී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

මෙම අනපේක්ෂිත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දොළුව, මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි හැත්තෑ හැවිරිදි (70) රාමනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ, දොළුව, නවගුරුකැළේ පදිංචි හැටහත් හැවිරිදි (67) විජේසූරිය මුදියන්සේලාගේ මාලිනි විජේසූරිය සහ ගම්පොළ ගුරුකැලේ පදිංචි හැටහත් හැවිරිදි (67) පල්ලේ ගෙදර අනුලාවතී යන මහත්මීන්ය.

අනතුරින් තුවාල ලැබූ ගම්පොළ, දොළුව ගුරුකැළේ පදිංචි පනස්හය හැවිරිදි (56) මල්වත්තේ ගෙදර ශ්‍රීමතී සහ මෝටර් රථය පැදවූ ගුරුකැලේ, නිල්ලඹ පදිංචි තිස්අට හැවිරිදි (38) වර්ණ කුලසූරියගේ පත්මා නදීකා ප්‍රනාන්දු යන අය රෝහල්ගත කර ඇත.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අනතුර සිදුකරන අවස්ථාවේදී මෝටර් රථය පැදවූ කාන්තාව සතුව තිබී ඇත්තේ පුහුණුවන්නන් සඳහා නිකුත් කරන ලද රියදුරු බලපත්‍රයක් බවයි. රියදුරු බලපත්‍රයක් හිමි ඇගේ සැමියා, ගම්පොළ නගරයේ සිට මාර්ගයේ යම් දුරක් රථය පදවාගෙන පැමිණ, පසුව සිය බිරිඳට රිය පැදවීම සඳහා භාරදී ඇති බවටද තොරතුරු වාර්තා වේ.

පාලනයෙන් මිදුණු මෝටර් රථය කාන්තාවන් පිරිස යට කිරීමෙන් පසු නවතා තිබූ ලොරි රථයේ ගැටී ඇති අතර, එම ගැටුමේ සැරින් ලොරි රථය නැවත මාර්ගයට විසිවී තිබේ. අනතුරට පත් මෝටර් රථයද ඒ ආසන්නයේ වූ බැම්මක වැදී නතර වී ඇති අතර, එහි ගමන් ගත් රියදුරුවරියගේ සැමියාට හෝ දරු දෙදෙනාට කිසිදු හානියක් සිදුවී නොමැති බව පොලීසිය සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!