BREAKING NEWS
Search

වැඩිහිටි කන්ද පුදබිමේ රැකවලට සිටි පොලිසියේ 7න් 5ක් ඉවත් කරලා.. යලි ආරක්ෂාව ඉල්ලා විහාරාධිපති හිමියෝ ජනපතිට ලියයි

530

 

යළි ආරක්ෂාව ඉල්ලා විහාරාධිපති හිමියෝ ජනපතිට ලියති
පුද්ගලානුබද්ධ ආරක්ෂාව නොව පුදබිමේ ආරක්ෂාව තහවුරු කළා
පොලිස් මාධ්‍ය කොට්ඨාසය

තමාට මරණ තර්ජන පවා තිබියදී තමාටත් වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාවටත් යොදවා සිටි පොලිස් මුරපළේ නිලධාරීන් ඉවත් කර ඇති බවත් එම නිලධාරීන් නැවත ලබාදෙන ලෙස ඉල්ලා ඓතිහාසික වැඩසිටිකන්ද රාජමහා විහාරයේ විහාරාධිපති අමරපුර ශ්‍රී සද්ධමවංශ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරි හීල්ලේ ඥානානන්ද නාහිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පෙරේදා (26දා) ලිපියක් යොමු කර ඇත.

ඉහළින් ලැබුණු නියෝගයක් අනුව පොලිස් මුරපළේ නිලධාරීන් ඉවත් කරගත් බව 25 වැනිදා කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ට දැනුම් දී එම නිලධාරීන් ඉවත් කරගත් බව ‘දිවයින’ කළ විමසීමේදී ඊයේ (27දා) උන්වහන්සේ පැවසූහ. වැඩසිටිකන්ද උඩ මළුවට පොලිස් නිලධාරීන් තිදෙනකු ද පහළ මළුවට නිලධාරීන් දෙදෙනකු සහ තමන් වහන්සේගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනකු 2012 වර්ෂයේ සිට යොදවා සිටි බව උන්වහන්සේ කියති. එම නිලධාරීන් හත්දෙනාගෙන් දෙදෙනකු පමණක් උඩමළුවේ ආරක්ෂාවට යොදවා ඉතිරි නිලධාරීන් පස්දෙනා ඉවත් කර ඇතැයි ද ඥානානන්ද හිමියෝ කියති.

කතරගම දෙවියන් ජීවමානව වැඩසිටින උතුම් පුදබිම ඓතිහාසික වැඩසිටිකන්ද පුදබිම බවත් බෞද්ධ හා හින්දු බැතිමතුන් මෙම ස්ථානයට පැමිණ කතරගම දෙවිඳුන්ගේ ආශීර්වාදය ලබාගන්නා බවත් උන්වහන්සේ විසින් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් කර ඇත. කතරගම පෙරහැර සමයේ උතුර – නැඟෙනහිරින් හින්දු බැතිමතුන් විශාල පිරිසක් මෙහි පැමිණි බවද ඒ සෑම දෙනාටම උදේ 7.00 සිට බත් දන්සලක් පැවැත්වූ බවත් දිනකට සහල් කිලෝ 500 බැගින් දින 12 ක් දන්සල පැවැත්වූ අතර ජූලි 08, 09, 10 යන දින තුනේ එක් දිනකට හාල් කිලෝ දහස බැගින් පිසින ලද බවද උන්වහන්සේ එම ලිපියේ පෙන්වාදී ඇත.

කතරගම තිබෙන ප්‍රධාන ආගමික ස්ථාන වන කිරිවෙහෙර, කතරගම මහා දේවාලය හා වැඩහිටිකන්ද වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් වැඩි පිරිසක් පා ගමනින් වනාන්තරය මැදින් යන බවත් මෙම බැතිමතුන්ගේ ජීවිත, කනකර ආභරණ, මිල මුදල් හා සතුන්ගෙන් වන ජීවිත හානි හා ගහකොළ ආරක්ෂා වූයේ වැඩසිටිකන්ද පිහිටා තිබෙන පොලිස් මුරපළේ පොලිස් නිලධාරීන් නිසා බවද එම ලිපියේ දක්වා තිබේ. මෙවැනි සේවා රැසක් මුරපළේ සිටි නිලධාරීන් නිසා ආරක්ෂා වූ බවත් එය සැලකිල්ලට ගෙන ඉවත් කළ නිලධාරීන් කඩිනමින් නැවත ලබාදී පොලිස් මුරපළ යළි ස්ථාපිත කර දෙන ලෙසත් උන්වහන්සේ වැඩිදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

මෙම සිදුවීම සම්බන්ධනේ අදහස් දක්වන පොලිස් මාධ්‍ය කොට්ඨාසය ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද එම ලිපිය මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතින බවත් කතරගම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමේදී එම පුවතෙහි සත්‍යතාවක් නොමැති බව වාර්තා කර ඇති බවත් කියා සිටී.

වැඩසිටිකන්ද පුදබිමෙහි ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් පොලිස් හා යුද හමුදා නිලධාරීන් පිරිසක් යොදවා එහි ආරක්ෂාව තහවුරු කර ඇති බවත් පුද්ගලයානුබද්ධ ආරක්ෂාව නොව ස්ථානයේ හා බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවත් එමගින් වාර්තා කර ඇති බවත් එම කොට්ඨාසය පවසයි.

වැඩසිටිකන්ද පොලිස් මුරපළට අනුයුක්තව සිටි අතිරික්ත නිලධාරීන් ඉවත් කර එම නිලධාරීන් කතරගම පොලිස් වසමේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ රාජකාරි සඳහා යොදවා ඇති බවද එම ලිපියේ සඳහන් පරිදි වැඩසිටිකන්ද පුදබිමේ පොලිස් ආරක්ෂාව පූර්ණ වශයෙන් ඉවත් කර නොමැති බවට වාර්තා කර ඇතැයි ද එම කොට්ඨාසය තවදුරටත් දන්වා සිටී.

චමින්ද සිල්වා සහ කේ.ඩී දේවප්‍රිය – කතරගම

Source – Divaina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!