BREAKING NEWS
Search

හිටපු ඇමති ජොන්ස්ටන් සොයා පොලිස් කණ්ඩායම් 5ක්

357

සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන නමුත් ඔහු සිටින තැනක් සොයාගැනීමට පොලීසියට නොහැකිවී ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව පොලිස් කණ්ඩායම් 5ක් ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

මේ අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද අත්අඩංගුවට ගත්තේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී හා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ සතොස යටතේ පැවති ලොරි රථයක් ඔහුට අයත් බව කියන එතනෝල් සමාගමේ කටයුතු සඳහා යොදවා ඇති බවට ලද පැමිණිල්ලක් අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඒ එම සිදුවීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් රජයට අහිමිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අදාළ විමර්ශනයට අදාළව නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ එම සිදුවීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙසය.

ඒ අනුව ජොහාන් ප්‍රනාන්දු මහතාව කුරුණෑගලදී අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ මුදල් විශුද්ධීකරණය, පොදු දේපළ පනත, රජයේ දේපල අවභාවිතය හා සාපරාධි සාවද්‍ය පරිහරණය යන චෝදනා යටතේය.

එම චෝදනා යටතේම ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකෙරෙන අතර ඔහු මේවන විට සිටින තැනක් සොයාගැනීමට නොහැකි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ අතර අත්අඩංගුවට ගත් සැකකරු හෙට (31) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *