BREAKING NEWS
Search

ජනපති කාර්යාල වාහනවලට කෝටි 64ක්..

768

 

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අලුත්වැඩියා කිරීම සඳහා පමණක් ඉකුත් වර්ෂයේ දී (2024) රුපියල් හැටහතරකෝටි පනස්තුන් ලක්ෂ තිස්හයදහස් හත්සිය හැත්තෑහතරක මුදලක් (645,336,774) වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.

මෙහිදී එකම වාහනය වාර 10 සිට 17 දක්වා වූ වාර ගණනක් අලුත්වැඩියා කිරීමේ අවස්ථා 53ක් වාර්තා වී තිබුණි.

මිලියනයක් සහ මිලියන හතලිහක් අතර වූ වටිනාකමින් යුතු වාහන 189ක් අලුත්වැඩියා කර තිබුණි. එම එක් වාහනයක් අලුත්වැඩියා කිරීම සඳහා ඉකුත් වර්ෂයේ රුපියල් මිලියනයක් සහ මිලියන විසිඅටක දක්වා වූ මුදලක් වැයකොට තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර තිබුණි.

විවිධ පාර්ශ්වයන් විසින් භාවිතා කරනු ලැබූ වාහන 107ක් ඉකුත් වර්ෂයේ (2024) සැප්තැම්බර් මස 21 දිනට පසුව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී තිබුණි. එම වාහන අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු වෙනුවෙන් රුපියල් දාහතරකෝටි දහඅටලක්ෂ තිස්එක්දහස් අටසිය තිස් දෙකක (141,831,832) වියදමක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දරා ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය නමින් ලියාපදිංචි කර තිබූ වාහන 29ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව ද අනාවරණය වී ඇත. මෙම වාහන අතුරුදන් වීම හෝ කිසියම් ආයතනයකට, පුද්ගලයකුට භාරදුන් බවට හෝ කිසිදු ලිඛිත සාක්ෂියක් විගණනයට ඉදිරිපත්කොට නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත් කර ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

ලලිත් චාමින්ද




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!