BREAKING NEWS
Search

ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිර්මාතෘ වූ ජනාධිපති පුතා – රවී ජයවර්ධන

646

 

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධනයන්ගේ එකම පුත්‍රයා වූ රවී ජයවර්ධන මීට වසර කිහිපයකට ඉහතදී තම ජීවන චාරිකාව නිම කළේය.

මෙලොවින් සමු ගනිද්දී අසූ හැවිරිදි වියේ පසු වූ ජයවර්ධන මහතා අතිශය සරල නිහඬ ජීවන පැවැත්මක් පවත්වාගෙන ගිය පුද්ගලයකු වූ අතර, ඒ මහතාගේ අවසන් කටයුතු පවා සිදු වූයේ ඊට ගැළපෙන ලෙසිනි.

මහෞෂධ පඬිවරයා සඳුන් ගැටයක් මිට මොළවන් උපන්නා සේ රවී ජයවර්ධන ද 1936 අප්‍රේල් 22 වැනි දා මෙලොව එළිය දුටුවේ ‘කිරුළ’ හිස දරාගෙනය.
ඔහුගේ දෙමවුපියන් රට ඉහළම ධනවත් පවුල් නියෝජනය කළ අය වූ අතර, සමාජ සම්බන්ධතා අතින් ඔවුහු උපරිමයට පොහොසත්ව සිටියෝය.

එම පසුබිම තුළ ‘දිලිසීමට’ අවශ්‍ය සාධක අනන්තවත් රවීට තිබුණ ද රවී කිසි විටෙක ඒවා ‘කිහිලිකරු’ බවට පත් කර නොගත්තේය. සිය පියාගේ පහනින් බැබළීම වෙනුවට, සමාජ භාවිතාව තුළදී තම පියාට පවුලට ආලෝකයක් ගෙන ඒමට ඔහු නිතරම වග බලාගත්තේය.

තරුණ රවීගේ මුල්ම ‘ආදරය’ පියාසර කිරීම සමඟ බැඳී තිබිණි. එයාර් සිලෝන්හි ගුවන් නියමුවකු වී තම ‘සිහිනය’ රවී සැබෑ කරගත් නමුත්, සෞඛ්‍ය හේතු මත, එම ‘රාජකාරි’ වලින් සමු ගැනීමට ඔහුට සිදු විණි. රවී අතිදක්ෂ ක්‍රීඩකයෙක් විය. එදා මෙදාතුර ඉතිහාසයේ මෙරටින් බිහි වූ විශිෂ්ටතම වෙඩි තැබීමේ ශූරයකු ලෙස රවී ජයවර්ධන සැලකෙයි. 1964 ටෝකියෝ ඔලිම්පික් උලෙළට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූයේ රවී ජයවර්ධනය.

සුප්‍රකට සැන්ෆ්රැන්සිස්කෝ සමුළුවේදී ජපානය වෙනුවෙන් කළ ප්‍රසිද්ධ පෙනී සිටීමේ හමුවේ ජේ.ආර්. ජයවර්ධන ඒ වන විට ජපානයේ ‘ජාතික වීරයකු’ වී සිටිමුත් රවී කිසි විටෙක තම තාත්තා නොවිකුණුවේය. ජේ.ආර්.ගේ පුත්‍රයා වීම තුළ පහසුවෙන්ම ඉහළ අමතර සැලකිලි ලබා ගැනීමේ හැකියාවක් ටෝකියෝ හිදී ඔහුට තිබුණ ද ඔහු එසේ කළේ නැත. එම ඔලිම්පික් උලෙළට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයකු හට ලැබුණේ රුපියල් 75 ක දීමනාවක් පමණි. ආර්ථිකව ශක්තිමත් නොවන පවුලක කෙනකුට එය ඒ හැටි ප්‍රමාණවත් නොවීය. ශ්‍රී ලංකා කණ්ඩායම තුළ එවැනි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සිටි අතර, රවී ජයවර්ධන ඒ සෑම කෙනකුගේම අවශ්‍යතා පිළිබඳ පෞද්ගලිකව සොයා බැලුවේය.

‘රවී ජයවර්ධන’ නාමය රට තුළ වැඩි වශයෙන් අවධානයට බඳුන් වූයේ අසූව දශකය මැදදී ය කියා සඳහන් කළ හොත් එය බොහෝ දුරට නිවැරදිය. ජාතික ආරක්ෂාව පිළිබඳ මාතෘකාව න්‍යාය පත්‍රයේ පෙරමුණට පැමිණ තිබු ඒ සමයේ ජනාධිපති ජයවර්ධනගේ ආරක්ෂක උපදේශකයා ලෙස කටයුතු කළේ රවීය. ජාතික ආරක්ෂාව වෙනුවෙන් වෙනම ඇමැතිවරයකු අභ්‍යන්තර ආරක්ෂක ඇමැතිවරයකු රටේ සිටිමුත්, ඒ යුගයේ ආරක්ෂක කාරණා පිළිබඳ තිරය පිටුපස සිට ක්‍රියාත්මක වූ බලවත්ම පුද්ගලයා වූයේ රවීය.

කිසිම නිල තනතුරක් නොමැති වුවද රටේ ආරක්ෂාවට අදාළ සෑම තැනකටම පුද්ගලයකුටම බලපෑම් කළ හැකි තත්ත්වයක ඔහු විය. ආචාර සමාචාරවලට පමණක් සීමා වූ හමුදාවන් ලෙස පැවැති ශ්‍රී ලංකා හමුදාවන් සැබෑ හමුදාවන් බවට පත් කිරීමේදී රවී නිරූපණය කළ භූමිකාව සෑහෙන ප්‍රශස්ත මට්ටමක පැවැතිණි.

එල්ටීටීඊ ත්‍රස්තවාදය පිම්මේ නැඟ එමින් පැවැති තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා හමුදාවන් නවීකාරක හමුදාවන් බවට පත් කිරීම ඒ වන විට අත්‍යවශ්‍ය කොන්දේසියක් වී පැවැතිණි. ත්‍රස්ත මර්දන කටයුතු සම්බන්ධයෙන් විශේෂඥතාවක් අත්පත් කරගෙන සිටි මහා බ්‍රිතාන්‍යයේ කීනි මිනි සේවාව පොලිස් විශේෂ කාර්යය බළකාය පුහුණු කිරීමට කැඳවූයේ රවීගේ මැදිහත් වීම තුළය. ඒ වෙනුවෙන් කර්නල්වරු දෙදෙනකු ඇතුළු එහි නිලධාරී කණ්ඩායමක් මෙරටට පැමිණි අතර, ඒ වන විට අයි.ආර්.ඒ. ඝාතන ලැයිස්තුවේ සිටි කර්නල් බ්‍රයන් බැටි එහි ප්‍රධානියා විය.

ත්‍රස්තවාදයට ශක්තිමත්ව මුහුණ දීමට අවශ්‍ය සහාය ලබාගැන්ම වෙනුවෙන් ඊශ්‍රායලය සමඟ සම්බන්ධතා ගොඩනැඟීමේ වගකීම ද රවී භාර ගත්තේය. 1984 ජූනි 21 වැනිදා ජාතික රහස් ඔත්තු සේවාවේ එවකට ප්‍රධානියා ලෙස කටයුතු කළ සර්නි විජේසූරිය සමඟ ඊශ්‍රායලයට ගිය රවී පුරා දින 10 ක් එහි රැඳී සිටිමින්, ඊශ්‍රායලයේ මායිම් නගර සියල්ලේම පාහේ සංචාරය කරමින් ඒවා නිරීක්ෂණය කළේය.

මොසාඩ් සංවිධානයේ එවකට ප්‍රධානියා වූ අද්මෝනීව මෙන්ම ඊශ්‍රායල් අගමැතිවරයා වූ යිට්ශාක් ෂාමීර් ද රවී ජයවර්ධන තම සංචාරය අතරතුර දී මුණගැසුණේය. ඉන්දියාව, එල්ටීටීඊයට ප්‍රේම කරමින් සිටි පසුබිමක ඊශ්‍රායලය සමඟ සම්බන්ධතා ගොඩනැඟීම ආරක්ෂාව පිළිබඳ මානයෙන් ගෙන බලන විට ශ්‍රී ලංකාවට අතිශය ප්‍රතිඵලදායක විය.

විශේෂඥ යුධ පුහුණුව පමණක් නොව අතිනවීන අවි ආයුධ ඩෝරා බඳු යාත්‍රා එම මිත්‍රත්වය තුළ මිල ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා රජයට හිමි විණි. 1971 වසරේදී සිරිමාවෝ බණ්ඩාරනායක රජය ඊශ්‍රායලය සමඟ තානාපති සබඳතා අත්හැර තිබූ තත්ත්වයක් තුළ ඊශ්‍රායලය සමඟ ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීම ඉන්දියාව කෝප ගැන්වූ අතර අපේක්ෂා කළ ආකාරයටම වහා එය නතර කරන ලෙස ඉල්ලීම් හැරෙන තැපෑලෙන් ඉදිරිපත් විණි.

නමුත් ජනපති, ජයවර්ධන එය උපක්‍රමශීලි ලෙස කළමනාකරණය කරගත්තේය. ඒ වන විට බොම්බායේ ඊශ්‍රායල් කොන්සල් කාර්යාලයක් පිහිටා තිබූ අතර පළමුව එය වසා දමා පෙන්වන ලෙස දේශපාලන සූදුවේ හොඳින් තෙම්පරාදු වූ පුද්ගලයකු වන ජයවර්ධන, ඉන්දියාවට දැනුම් දුන්නේය. මේ අතර, ජයවර්ධන ජනාධිපතිවරයා ඉලක්ක කරගත් පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් පී.එස්.ඩී.ය නමින් වෙනම ඒකකයක් පිහිටුවීමට රවී ජයවර්ධන මූලිකත්වය ගත්තේය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනාවාස පිහිටුවමින් ත්‍රස්තවාදයට එරෙහිව විකල්ප අදහස් මතවාද ගොඩනැඟු රවී, ඒ වන විට මතු වෙමින් පැවැති ඉන්දියානු තර්ජනයට මුහුණ දීම සඳහා පොදු පෙරමුණක් නිර්මාණය කිරීමට ද උත්සාහ කළේය. ජ්‍යෙෂ්ඨ ජවිපෙ සාමාජිකයකු වූ ශාන්ත බණ්ඩාර තංගල්ලේදී හමුදා අත්අඩංගුවට පත්වූ පසු රවී, හර්මන් ගුණරත්න හරහා ශාන්ත බණ්ඩාර සමඟ ඉහත කාරණය ගැන සාකච්ඡා කළ බව රොහාන් ගුණරත්න පසුව සඳහන් කර තිබිණි.

අපේ රටේ බො‍හෝ දෙනා තමන් දරණ තනතුර බබළනවා වෙනුවට තනතුරින් බැබළීමට උත්සාහ කරද්දී රවී ඊට ව්‍යතිරේකයක් විය. ඔහු හැම විටම උත්සාහ කළේ භාරගත් රාජකාරිය නිවැරදිව ඉටු කිරීමටය. උතුරත්, දකුණත් ගිනි ගනිමින් රට දෙකොන විලක්කුවක් වී තිබූ ඒ භයංකාර සමයෙහි පවා රවී ජයවර්ධන තම ආරක්ෂාව පතා අමතර ආරක්ෂකයන් හෝ පරිවාර රථ භාවිත කළේ නැත. ජනාධිපති මන්දිරයේ සිට දිවා ආහාරයට ඔහු පැගෝඩා අවන්හලට පැමිණියේ පාගමනිනි. වෝඩ් පෙදෙසේ ‘බ්‍රීමර්’ නිවසේ සිට කොළඹ ජාතික රෝහලට ගියේ ඇවිදිමිනි. ඒ සියල්ල අපට පෙන්නුම් කරනුයේ ඔහුගේ නිරහංකාරත්වයය; සරල බව ය.

ඔහුගේ පවුල් පසුබිම සම්බන්ධතා හා දැනුම තුළ පහසුවෙන්ම දේශපාලනය තුළ ඉහළට යෑමේ හැකියාවක් තිබිණි. එහෙත් දේශපාලනය ඔහුට ගර්හිත මාතෘකාවක් විය. ධනය උපරිම කරගැනීමේ අදහසක් ඔහුට කිසිසේත්ම නොවීය. ප්‍රසිද්ධිය පසුපස කිසි විටෙක හෙතෙම හඹා නොගියේය. ඒ නිසාම පිළියන්දල සතිපොළට පැමිණ නිදහසේ බඩු භාණ්ඩ මිල දී ගැනීමට තරම් හැකියාවක් ඔහුට තිබිණි. ගහකොළ සතා සිවුපාවාට ආදරය කළ ආදරණීය මනුෂ්‍යයෙක් ද ඔහු තුළ විය.

මේ සියල්ල සමඟින් බලන විට අපෙන් සමුගෙන ගියේ ‘ආදරණීය’ මිනිසකු බව පැවැසීම කිසිසේත්ම අතිශයෝක්ති වර්ණනාවක් නම් නොවේ.

උපුටාගැනීමකි.
(කතෘ නම සඳහන්ව නොතිබුණි)

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!