BREAKING NEWS
Search

75 වසරේ සාපය ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කළා – හර්ෂ ද සිල්වා කියයි

1513

ජනාධිපති අනුර කුමාර දිසානායක මීට පෙර නොකී කරුණක් මෙවර නිදහස් දින උත්සවයේදී පැවසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

 

(04) පෙරවරුවේ නිදහස් චතුරස්‍රයේ පැවති සැමරුම් උත්සවයෙන් අනතුරුව ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා සජීවි වීඩියෝවක් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 

“ගරු ජනාධිපතිතුමාගේ කතාවේදී එතුමා සාමාන්‍යයෙන් නොකියන දෙයක් අද කිව්වා. ඒ තමයි 75 වසරක් තිස්සේ හොඳ දේවලුත් තිබ්බා අයහපත් දේවලුත් තිබ්බා. නමුත් හොඳ දේවල් තිබ්බා. අවුරුදු 75ක සාපය කියන එක මම හිතන්නේ අද ජනාධිපතිතුමා විසින් ප්‍රතික්ෂේප කරා ජනතාව ආමන්ත්‍රණය කරපු අවස්ථාවේදී. ඒක තමයි අපි දිගින් දිගටම කිව්වේ. හොඳ දේවල් වුණා හොඳ නැති දේවල් වුණා. නමුත් සියලුම දේවල් නරක දේවල් නෙමෙයි.”

 

78 වසරක නිදහස් ඉතිහාසය තුළ ලබාගත් ශක්තිමත් සහ සාධාරණ දේ තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බව පවසන හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා, සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව එකට එක්වී ශක්තිමත් රටක් ලෙස ඉදිරියට යාම තම ප්‍රාර්ථනාව බව ද තව දුරටත් සඳහන් කළේය.

 

එසේම, නිදහස ලබා වසර 78ක් ගතවී ඇතත් රට තවමත් ආර්ථික වශයෙන් නිදහස ලබා නොමැති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ජනතාවට සැබෑ නිදහස භුක්ති විඳීමට නම් රට, ආර්ථික නිදහස ලබා ගැනීම අත්‍යවශ්‍ය බව කියා සිටි අතර ජනතාවට තමන්ගේ ශ්‍රමය සහ ධනය තමන්ට රුචි පරිදි භාවිතා කිරීමට ඇති හැකියාව සැබෑ නිදහස බව කියා සිටියේය.

 

Source – TheLeader




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!