BREAKING NEWS
Search

“යථාර්ථය තේරුම් ගන්න අපි ලෝක මට්ටමෙන් අතිශය දුර්වලයි” – මුත්තයියා මුරලිදරන්

731

විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ තීරණාත්මක නවසීලන්ත තරඟයෙනුත් ලකුණු 61ක අවමන් සහගත පරාජයක් විඳදරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මීට ස්වල්ප මොහොතකට පෙර සිදුවුණා. විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ආරම්භයක් ලබාගත්තද, එම ජයග්‍රාහී රිද්මය දිගටම පවත්වා ගැනීමට කණ්ඩායම අසමත් වීම ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි කලකිරීමට හේතු වී තිබේ. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රේක්ෂකයින් සිය කෝපය සහ විවේචන දැඩි ලෙස මුදාහරිමින් සිටිනු දක්නට ලැබේ.

​මෙවැනි උණුසුම් වටපිටාවක, හිටපු පළමු පෙළ ක්‍රීඩක ඩිලාන් සේනානායක මහතා විසින් මෙහෙයවන “Chill with Dilan” වැඩසටහනට ලොව බිහිවූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගනිමින්, අද දින ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම පිළිබඳව ඔහුගේ අදහස් විමසා සිටියේය.

“මට මතක හැටියට 2019 වසරේ තමයි මම මුලින්ම ටීවී Program එකක ශ්‍රී ලංකා ක්‍රිකට් වල කඩාවැටීම කතා කරන්න ගත්තෙ. ඒ කතා කරපු කාලේ සහ ඉන්පසුවත් මට ගොඩක් විවේචන ආවා. ඒ විවේචන අතරේ හොඳට වඩා නරක වැඩී, මට සහ මගේ පවුලේ අයට අපහාස කරමින් බැනපු අයද සිටියා. මම නමුත් ඒවා එතරම් Care කරේ නෑ මොකද මම ඒ කීව සියල්ල අද යථාර්ථයක් වෙලා තියෙනවා, ඩිලාන් අපේ ප්‍රේක්ෂකයොත් මේකට යම් මට්ටමකින් වගකිව යුතුයි. මොකද ඔවුන්ටත් තරඟයක් දෙකක් ජයග්‍රහණය කරාට පස්සේ යථාර්ථය අමතකයි. ඔවුන් සිතන්නෙ දැන් ක්‍රිකට් හැදිලා කියලා, ඒත් ඇත්තටම ඒක එහෙම නෑ. අපි ලෝක මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායම් අතරින් අතිශය දුර්වල කණ්ඩායමක්. මේක මේ ප්ලේයර්ස්ලා මාරු කරලා, කෝචින් Staff එක මාරු කරලා හදන්න බෑ. ක්‍රිකට් පරිපාලනය දූෂිතයි! මුලින්ම වෙනස් වෙන්න ඕනි පරිපාලනය. මං මුල ඉදලම කියන්නෙ මෙන්න මේ කාරණාව, එක දවසක්වත් හාර්ඩ් බෝල් නොගහපු පුද්ගලයෙක් ක්‍රිකට් සභාපති වෙලා අද රට සහ ක්‍රීඩාව මුදලට පාවා දෙනවා. අපේ රටේ කොච්චර හිටපු දක්ෂ ප්ලේයර්ස්ලා ඉන්නවාද? රොෂාන් මහනාම,සිදත් වෙත්තමුණි,කුමාර් සංගක්කාර,මහේල ජයවර්ධන මේ වගේ විශිෂ්ට ක්‍රීඩකයන් යටතේ පරිපාලනය වෙන්න ඕනි තැනක් තමයි SLC එක කියන්නෙ ඩිලාන්. මේක ගැන කතා කරන්න කරන්න හිත රිදෙන එක විතරයි වෙන්නේ. ඇත්තටම ඔවුන්ගේ ඕනෑ එපා කම් නිසා තැලෙන්නේ මේ ප්ලේයර්ස්ලා, මම ලංකාව ක්‍රීඩා කරන තරඟයක් සම්පූර්ණයෙන් නරඹලා නෑ අවුරුදු 10කින් විතර, අද තරඟයත් දැන් මේ වීඩියෝ කෝල් එක ගන්න කලින් Scores මම ඉන්ටර්නෙට් එකෙන් බලලා ආවේ. මට ඇත්තටම කණගාටුයි මෙහෙම පරදින්න ඕන රටක් නෙමේ අපි. අන්තිමටම කියන්න තියෙන්නේ ඩිලාන් මම ලංකාවේ ක්‍රිකට් සමඟ තියන මගේ Bond එක අතඇරලා ⁣ගොඩක් කල්”


-මුත්තයියා මුරලිදරන්-
-ඉන්දියාවේ අහමදාබාද් හී සිට-
උපුටා ගැනීමක්!




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!