මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” අද (27) අලුයම ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.
දැඩි ආරක්ෂාවක් යටතේ ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටතට රැගෙන ගොස් ඇති අතර, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) නිලධාරීන් ද එම මෙහෙයුමට එක්ව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් සඳහන් කළේ, දකුණු පළාතේ සිදු වූ මිනීමැරුම් කිහිපයක් හා ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් “පොඩි ලැසී” පොලිසියට අවශ්‍යව සිටි බවයි. වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට භාර දීමට නියමිත බවද පැවසේ.
2025 දෙසැම්බර් 09 දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් දැඩි කොන්දේසි යටතේ ඇප මත නිදහස් කළද, එම කොන්දේසි උල්ලංඝනය කරමින් ඔහු රටින් පලා ගොස් තිබුණි. පසුව ඔහු ඉන්දියාවේ සැඟවී සිටින බවට තොරතුරු හෙළි වූ අතර, ශ්‍රී ලංකා සහ ඉන්දීය පොලිසිය අතර සිදු කළ සෘජු තොරතුරු හුවමාරුවක් මත ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි විය.
ඒ අනුව, ඉන්දීය බලධාරීන්ගේ සහයෝගයෙන් ඔහු පිටුවහල් කරමින් නැවත ශ්‍රී ලංකාවට ගෙන එන ලදී.








