ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සනත් ජයසූරිය මහතා අද (28) සිය අවසන් තරගය පුහුණුකරු ලෙස මුහුණ දෙයි. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පල්ලේකැලේදී පැවැත්වෙන තරගය ඔහුගේ පුහුණුකාරිත්වයේ අවසානය බව වාර්තා වේ.
මෙවර ලෝක කුසලානයෙන් පසු තමන් ධුරයෙන් ඉවත්වන බව ජයසූරිය මහතා තරගාවලිය ආරම්භයට පෙරම දැනුම්දී තිබුණි. එම තීරණය වෙනස් කිරීමට අද දක්වා කිසිදු ඉඟියක් නොලැබුණු අතර, මාධ්‍ය විමසීම්වලදීද ඔහු තහවුරු කර ඇත්තේ කොන්ත්‍රාත්තුව තවදුරටත් පැවතුණද ධුරයේ රැඳී සිටීමට අදහසක් නොමැති බවයි.
2024 ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහි තරගාවලිය සඳහා තාවකාලික පුහුණුකරු ලෙස වගකීම භාරගත් ජයසූරිය, එම වසර අවසානයේදී පූර්ණ කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණි.
ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම ආකෘතිවල තරග 74කට සහභාගී වූ අතර, ජයග්‍රහණ 34ක් ලබාගෙන පරාජයන් 38ක් දරා ඇත. තරග 2ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
සනත් ජයසූරියගේ සමුගැනීම, නව යුගයකට ශ්‍රී ලංකා ක්‍රිකට් ගමන් ආරම්භ කරන සංධිස්ථානයක් ලෙස ක්‍රීඩා ලෝකයේ අවධානයට ලක්ව ඇත.(Ape Rata)







