BREAKING NEWS
Search

කෙහෙල්බද්දර පද්මේගේ පාතාල ජාලයේ ලොක්කෙක් මහින්දගේ ආරක්ෂකයෙකු ලෙසත් වැඩ කරලා…

3282

අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි නමැත්තා කෙහෙල්බද්දර පද්මේගේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ සැලසුමේ ප්‍රධානියකු ලෙස කටයුතු කිරීමට අමතරව ඔහුගේ අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ජාලයේ ප්‍රධානියකු ලෙස ද කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

මනම්පේරි නමැති සැකකරුට අයත් ඉඩම් කීපයක වළ දමා තිබූ අත්බෝම්බ ඇතුළු අවි ආයුධ කීපයක්ම මීට පෙර ගොඩගෙන තිබූ අතර ඒවා පාතාල කල්ලිවලට අයත් ඒවා බවට සැක කෙරේ.

ප්‍රභූ ආරක්ෂයකු ලෙස කලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ සේවය කර ඇති මනම්පේරි නමැත්තා එවකට රටේ සිදුවූ ආන්දෝලනාත්මක මිනිස් ඝාතන කීපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයෙකි.

ප්‍රකට දේශපාලනඥයකු වූ නඩරාජා රවිරාජ් වෙඩි තබා ඝාතනය කිරීම, පිටකොටුවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වූ ස්කන්ධරාජා කප්පම් ලබා ගැනීමට පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමෙන් පසු මරා දැමීම සම්බන්ධයෙන් ද මනම්පේරිට චෝදනා එල්ලවී තිබිණි.

මේ වනවිට අතුරුදන්ව සිටින මෙම සැකකරු සොයා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර ඔහු පදිංචි ස්ථාන යන එන තැන් ඇතුළු ඇසුරු කරන පුද්ගලයන්ගේ නිවාස ද මේ වනවිට දැඩි පරීක්ෂාවට ලක්කර ඇත.

මේ අතර කෙහෙල්බද්දර පද්මේ සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සහ කෙහෙල්බද්දර පද්මේ සතුව තිබී සොයා ගත් ජංගම දුරකථන මාර්ගයෙන් සිදුකරන විමර්ශනවලින් පසුව මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසේ තිබූ ලියාපදිංචි නොකළ වෙසෙල් වර්ගයේ ජීප් රථයක් සහ ජීව උණ්ඩ තොගයක් ද පොලිස් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

හේමන්ත රන්දුණු
Divaina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!