ජර්මනියේ නිෂ්පාදිත, වෙඩි නොවදින බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ගරාජයක තිබියදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් පෙරේදා (21) දින සොයාගෙන තිබේ. 2008 වසරේදී මෙරටට ආනයනය කරන ලද මෙම මෝටර් රථය, සොයාගන්නා අවස්ථාවේ අංක තහඩු ද රහිතව තිබූ බව පොලිසිය පවසයි.
පාගොඩ පාරේ පළමුවන පටුමගේ පිහිටි මෙම ගරාජයේ සැකකටයුතු පුද්ගලයකු රැඳී සිටින බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය පරීක්ෂා කිරීමට ගොස් ඇත. එහිදී අලුත්වැඩියාවක් සඳහා ගෙන ආ බව පවසමින් වසා දමා තිබූ මෝටර් රථයක් නිරීක්ෂණය කර ඇති අතර,
එහි දොරවල් විවෘත කිරීමේදී පැවති අධික බර නිසා ඇති වූ සැකය මත සිදුකළ වැඩිදුර පරීක්ෂාවේදී එය වෙඩි නොවදින රථයක් බවට තහවුරු වී තිබේ.
පොලිසිය විසින් මෝටර් රථය භාරයට ගෙන සිදුකළ විමර්ශනවලදී, ගරාජ හිමිකරු පවසා ඇත්තේ පසුගිය මැයි මස 23 වන දින මෙම රථය අලුත්වැඩියාවක් සඳහා රැගෙන ආ නමුත්, එසේ ගෙන ආ පුද්ගලයාගේ අනන්‍යතාව තමා නොදන්නා බවයි. රථය පිළිබඳව රේගුවෙන් හා ඩිමෝ ආයතනයෙන් කළ පරීක්ෂා කිරීම්වලදී, එය 2008 වසරේදී ඉන්දීය තානාපති කාර්යාලය මගින් මෙරටට ගෙන්වූවක් බවට තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව, ඉන්දීය තානාපති කාර්යාලයෙන්ද වාර්තාවක් කැඳවා ඇති අතර, මෙම මෝටර් රථය යම් ප්‍රභූ පුද්ගලයකු භාවිත කළේද, නැතහොත් කිසියම් අපරාධ ක්‍රියාවක් සඳහා යොදාගෙන ඇත්ද යන්න සොයා බැලීමට අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ගරාජ හිමියාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, නුගේගොඩ අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.
Gossip Lanka News










 
                                                                    







