BREAKING NEWS
Search

පොලිසියට සද්ද කරේ ඇඟළුම් හිමිකාරයෙකුගේ බිරියක් -මානසික රෝග වාර්තා කැඳවයි

19437

ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේදී පොලිස් රථ වාහන පරීක්‍ෂාවක් අතරතුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නැගණියක ලෙස පෙනී සිටිමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ කාන්තාව තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ සහෝදරිය බවට ප්‍රකාශ කර තිබීම මේ වනවිට ගැටලුකාරී තත්වයක් නිර්මාණය කර තිබේ.

 

සිද්ධියෙන් අනතුරුව ඇයව පොලිස් අත්අඩංගුවට ගෙන සිදුකළ වැඩිදුර විමර්ශනවලදී, ඇය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අතර කිසිදු ඥාති සබඳතාවක් නොමැති බවට කරුණු හෙළිදරව් වී ඇත.

 

සැකකාරිය බේස්ලයින් පාරේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය ඇඟලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක් බවද තහවුරු වී තිබේ.

මෙම ගැටුම සිදුවන අවස්ථාවේ ඇය සිය සැමියා සමඟ අලුතින් ඉදිකරන නිවසක සැලැස්මක් සම්බන්ධයෙන් ඉංජිනේරුවරයෙකු හමුවීමට යමින් සිටි බව විමර්ශනවලදී අනාවරණය විය.

අත්අඩංගුවට ගත් කාන්තාව ඊයේ (01) ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරිණි.

 

එහිදී ඇයට එරෙහිව අන්තරාදායක හා අපරික්‍ෂාකාරී ලෙස රිය ධාවනය, පොලිස් අණ නොතකා ක්‍රියා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම මෙන්ම අන් අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා ගොනු කර තිබුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා, සැකකාරිය හෙට (03) දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

ඒ අනුව, දැනට රක්‍ෂිත බන්ධනාගාරයේ පසුවන මෙම කාන්තාව හෙට දිනයේ ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට නැවත ඉදිරිපත් කිරීමට නියමිතය. ගම්පහ පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, එම අවස්ථාවේදී සැකකාරියගේ මානසික තත්ත්වය පරීක්‍ෂා කිරීම සඳහා ඇය මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීමට අපේක්‍ෂා කරන බවයි.

gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!