BREAKING NEWS
Search

යාළුවෙක් අපිට නුගේගොඩ ගෙයක් දුන්නා – නාමල්

465

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ පදිංචියට පැමිණ සිටියද, ඔහු තංගල්ල කාල්ටන් නිවසේ සහ කොළඹ නුගේගොඩ නිවසේද මාරුවෙන් මාරුවට රැඳී සිටින බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පක්ෂයේ රැස්වීම්වලට සහභාගී වෙමින් මහින්ද රාජපක්ෂ මහතා තවමත් උපදෙස් සහ අනුශාසනා ලබා දෙන බවයි.

මහින්ද රාජපක්ෂ මහතා පදිංචි වී සිටින නිවස වර්ග අඩි කීයකින් සමන්විත දැයි මාධ්‍යවේදීන් විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් නාමල් රාජපක්ෂ මහතා

“දැන් සාමාන්‍යයෙන් ගණන් හදන්නේ පාපන්දු පිට්ටනිවලින්නේ. ඉතින් මම හිතන්නේ ඒ ගෙදර ප්‍රමාණය පාපන්දු පිට්ටනි හයක විතර ඇති. ඇත්තටම ජීවිතේට බෝලෙකටවත් පයින් ගහපු නැති අය තමයි දැන් හැමදේම පාපන්දු පිට්ටනිවලින් මනින්න හදන්නේ.” යනුවෙන් කියා සිටියා.

හිටපු ජනාධිපතිවරයා මේ වන විට පදිංචි අදාළ නිවස මිතුරෙකු විසින් කැමැත්තෙන් ලබා දුන් එකක් බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළා.

රාජපක්ෂ පවුල කවුදැයි දන්නා නිසා කිසිඳු බියක් නොමැතිව තම මිතුරා විසින් සතුටින් එම නිවස ලබා දුන් බවයි ඔහු පවසන්නේ.

“අපේ මිත්‍රයෙක් ඒ නිවස සතුටින් ලබා දුන්නා. අපේ යාළුවෝ දන්නවා අපි කවුද කියලා. ඒ වගේම ඒ අය මේ ආණ්ඩුවට බයත් නැහැ. බයක් නැති නිසයි ඒ අය අපිට ගෙවල් දෙන්නේ. සමහරු වගේ ආණ්ඩුවට බයේ ඉන්න අවශ්‍යතාවයක් අපේ මිතුරන්ට නැහැ,”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙන්ව තනිවම ජීවත් වීමට කැමැත්තක් දක්වන බැවින් ඔහුගේ නිදහසට බාධා නොකර එම කැමැත්තට ඉඩ දී ඇති බවත්, ඔහු වත්මන් ආණ්ඩුව ක්‍රියා කරන ආකාරය දෙස සතුටින් බලා සිටින බවත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ෆාතිමා සුමෙයිහා ( News19)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!