BREAKING NEWS
Search

අතට අත නොදීමක් ගිය දුරක්…!

1865

 

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ පකිස්තානය සහ එක්සත් අරාබී ඒමීර් රාජ්‍යය අතර තරගය පැයක් පමණ ප්‍රමාද වුනා. ඊට හේතුව වුනේ ඉකුත්දා පැවති ඉන්දියාව සහ පකිස්තානය අතර තරගයේ ආරම්භයේදී සහ අවසානයේදී ඉන්දීය ක්‍රීඩකයින් අතට අත නොදීමත් එම තරගයේ තරග තීරක ලෙස කටයුතු කල ඇන්ඩි පයික්‍රොෆ්ට් ඊට අනුබල දීමත් සම්බන්ධයෙන් විරෝධය පල කරමින් පකිස්තානය විසින් මේ තීරණය ගන්නවා.

පකිස්තානය ඉල්ලා සිටින්නේ මේ ක්‍රියාවට නිසි ක්‍රියාමාර්ග නොගත් ඇන්ඩි පයික්‍රොෆ්ට් ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් කරන ලෙසයි.

සිද්ධියට හේතුව,

ඉන්දියාව සහ පකිස්තානය අතර තරගයේ කාසිය වාසිය විමසන අවස්ථාවේ වගේම තරග අවසානයේ ඉන්දීය ක්‍රීඩකයින් පකිස්තාන ක්‍රීඩකයින්ට අතට අත නොදී ක්‍රීඩාගාරයට යනවා.

තරගයෙන් අනතුරුව මේ පිලිබඳ පකිස්තාන පුහුණුකරු මෙසේ කියා සිටියා. “පැහැදිලිවම, අපි තරගය අවසානයේ අතට අත දීමට සූදානම්ව හිටියා, අපි අතට අත දෙන්න යනකොට, ඒගොල්ලෝ ඒ වෙනකොටත් ඇඳුම් මාරු කරන කාමරේට යමින් හිටියා, අපේ ප්‍රතිවාදීන් එහෙම කළේ නැති එක ගැන අපිට කලකිරුණා.”

ඒ වගේම මේ සිද්ධිය පිලිබඳ ඉන්දීය නායක සූර්‍යාකුමාර් පවසා සිටියේ “ක්‍රීඩාවේ ජීවගුණයට වඩා ජීවිතයේ සමහර දේවල් ඉදිරියෙන් සිටින බව මට හැඟෙනවා. පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූ සියලු දෙනා සමග අපි නැගී සිටිනවා. අපි ඔවුන්ගේ පවුල් සමග ද නැගී සිටිමින් අපගේ සහයෝගීතාව ප්‍රකාශ කරනවා. මා කී පරිදි, සින්දූර් මෙහෙයුමට සහභාගී වූ අපගේ නිර්භීත සන්නද්ධ හමුදාවන්ට අපි මෙම ජයග්‍රහණය කැප කරනවා.” යනුවෙන්…

ඒ වගේම සූර්‍යා තවත් දෙයක් සදහන් කරනවා.

“රජය සහ BCCI අපි එකඟ වෙලා හිටියා, අපි තීරණයක් ගත්තා, අපි මෙහි පැමිණියේ ක්‍රීඩා කරන්න පමණයි. අපි නිසි පිළිතුර දුන්නා.”

දැන් පැහැදිලියි නේද මේ ප්‍රශ්නේ ආවේ කොහෙන්ද කියලා…
මේක ඇත්තටම ක්‍රීඩාව පැත්තෙන් හරිම අවාසනාවන්ත සිද්ධියක්… රටවල් තුල දේශපාලනික වශයෙන් මොන තරම් මතභේද තිබුනත් ඒ මතභේද ක්‍රීඩාවට සම්බන්ධ කරගන්න එක නම් ඇත්තටම හරිම කණගාටු දෙයක්…

මේ සිද්ධිය ගැන හිටපු පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ශොයිබ් අක්තාර් තමන්ගේ අප්‍රසාදය ඉන්දීය නායකයාට මෙසේ පල කරලා තිබුනා.

” මට කියන්න වචන නෑ. දකිනකොට කලකිරෙනවා, මොනවා කියන්න ද කියලා මට හිතාගන්න බෑ. ඉන්දියාවට සුබ පැතුම්. හැම දේ ම දේශපාලනික කරන්න එපා. ක්‍රිකට් තරගයක් දේශපාලනික කරන්න එපා. අපි ඔබ ගැන හොඳ දේවල් කියලා තියෙනවා. අතට අත නොදීම ගැන අපිට ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඔයාගේ ගෙදර ඇතුළෙත් රණ්ඩු වෙනවා. ඒක අමතක කරන්න, ඉදිරියට යන්න. ඒක ක්‍රිකට් ක්‍රීඩාව, අතට අත දෙන්න, ඔබේ කරුණාව පෙන්වන්න.”

මේ අතර “අතට අත නොදීමේ මතභේදය” සම්බන්ධයෙන් ICC තරඟ තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් පකිස්ථාන නායක සල්මන් අල් අගා සහ කණ්ඩායම් කළමනාකරුගෙන් සමාව අයැද සිටින බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) නිවේදනයක් නිකුත් කරමින් කියා තියෙනවා.

පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කියන විදිහට ඉන්දියාව සහ පාකිස්තාන නායකයින් අතට අත දීම තහනම් කිරීම වැරදි සන්නිවේදනයක ප්‍රතිඵලයක් බවට තරග තීරක පයික්‍රොෆ්ට් පිළිගත් බවත් එය ක්‍රිකට් ප්‍රොටෝකෝලය උල්ලංඝනය කිරීමක් ලෙස පකිස්තානය මෙම කාරණයට දැඩි ලෙස විරෝධය පළ කර තිබෙනවා.

මේ අතර ICC ය මේ හැසිරීම් නීති උල්ලංඝනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පලකර තිබෙනවා.

Ape Rata Editor| Rishie Bro
මූලාශ්‍ර අන්තර්ජාලයෙන්…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!