BREAKING NEWS
Search

වසර 12කට පසු හෝර්ටන් තැන්නට නෙළු වසන්තයක්..

921

 

 

නෙළු මල.. මේ ගැන බොහෝ දෙනෙක්ට තියෙන්නේ මිහිරි මතක. මේ අන්න ඒ මල ගැන කතා වෙන තවත් විශේෂ කාලයක්.

මොක්කද ඇත්තටම කවුරුත් කතාවෙන මේ විශේෂත්වය. අවුරුදු 12 සැරයක් හෝර්ටන්තැනට එන මහා නෙළු වසන්තය මේ දිනවල උදාවෙලා. මේ දවස්වල අවුරුදු 12 සැරයක් හෝර්ටන්තැන්නේ පිපෙන මහා නෙළු වසන්තය නැවතත් තියෙන බව දන්නවද?

Acanthaceae කියන පවුලට අයත් Strobilanthes ගනයේ ලොව පුරා ශාක විශේෂ 450 කට වඩා වාර්තා වෙනවා. නිවර්තන ආසියානු සහ පැසිෆික් කලාප වල ව්‍යාප්තියක් දක්වන මෙයාලා ,ශ්‍රී ලංකාව තුල විශේෂයෙන් කඳුකර හා උපකඳුකර වනාන්තරවල ,පහතරට තෙත් කලාපීය වනාන්තර වල සුලභවද අතරමැදිසහ වියලි කලාපයේ සීමිතවද (වියළි කලාපෙ හම්බෙන්නෙ Strobilanthes cordifolia-බූ නෙලු) හමුවන මෙම ශාක ගනයේ බොහෝ ශාක වනාන්තර වල යටි රෝපණයේ කුඩා පඳුරු ලෙස බොහෝ විට විශාල ගහනයන් ලෙස දකින්න පුළුවන්.ශ්‍රී ලංකාවෙ ආසන්නව නෙළු විශේෂ 35 ක් විතර වාර්තා වෙනවා සහ 30ක් විතරම ආවේණික විශේෂ එතනිනුත් 30ක් විතර රතු දත්ත වර්ගීකරණයන්ට අනුව තර්ජිත ශාක. දැනට ලංකාවෙ වඳවෙලා කියලාසැක කරන ශාක දෙකෙන් එකකුත් නෙළු වර්ගයක් (Strobilanthes caudata).හෝටන් තැන්න ආශ්‍රිතව හමුවන නෙළු විශේෂ කීපයක් අවුරුදු 12ක විතර ආසන්න කාල ප්‍රාන්තරයක් එක්ක වගේ මල් පිපෙන (Mass Flowering) නිසා ගොඩක් අය හඳුනන්නෙ කාලෙකට පස්සෙ මල් පිපෙන ශාක ගනයක් කියලා.ඒත් හැම විශේෂයම එහෙම නෑ.

2013 තමයි අවසාන නෙළු වසන්තය දැකගන්න හැකි වුණේ. 2013 න් පස්සෙ ආපු නෙළු වසන්තය ආපහු ආව නිසා මේක බලන්න යන්න. මොකද දශයකටත් පස්සෙ තමයි මේ වාර්තා වුණේ. ඒ වගේම ආයෙම එන්නෙත් කාලාන්තරයක් ගිහින්. ඒ සුන්දරත්වය විඳින්න යන්න. නමුත් මේ පරිසරයට, ගහකොලට හානි කරන්න යන්න එපා. මල් කඩන්න, ඉඹින්න යන්න එපා. නෙළු කියන්නෙ වනසත්ව හා වෘක්ෂලතා අඥාපනත යටතේ ආරක්ෂිත ශාකයක්. එහෙම ශාකයකට හානි කිරීම කියන්නෙ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. මේක කියන්නෙ මේ එන සතියෙන් ආරම්භ වෙන දීර්ඝ නිවාඩුව නිසා. ස්වයං විනයක් පවත්වගෙන යන්න. පොලිතින්, කැලි කසල දාන්න එපා. අඩි පාරවල් (Trails) ඇතුලෙ ගිහින් බත් කන්න යන්න එපා. ඒවා තහනම් ක්‍රියා. ගිනි දල්වන්න යන්න එපා. අඩි පාරෙන් පිට පනින්න එපා. හෝටන්තැන්න කියන්නෙ ලංකාවෙ කොටියා දකින්න ලැබෙන වනෝද්‍යානයක්. ඒක නිසා මේ යන්නෙ සතුන්ගෙ වාසස්ථානයකට බව මතක තියාගන්න. අවධානම් ක්‍රියා, සතුන්ගෙ චර්යාවන්ට බාධා වන ක්‍රියා කරන්න යන්න එපා. විශේෂයෙන් නෙළු බහුල කලාප දෙක, තුනේම කොටිත් නිරන්තරයෙන් ගැවසෙනවා. ඒක නිසා සිහියෙන් වැඩ කරන්න. හෝටන්තැන්නට ඇතුල් වෙන එක මාවතක් වහන්න අවුරුදු ගාණකට කලින් වුණෙත් එහෙම කරපු වැඩ නිසා.

වනජීවි නිලධාරීන්ට හැම වෙලේම ඇස්වල තියාගෙන මේකෙ යන හැමෝවම බලන්න බැහැ. ඒක එහෙමයි කියල දෙකයි පනහෙ නොගැලපෙන වැඩ කරන්න යන්න එපා. අහු උනොත් දඩ පිට දඩ වදිනවා. එහෙම දඩ ගහපු අවස්ථා මින් පෙර හිටපු ප්‍රදීප් මහත්මයත්, වත්මන් උද්‍යාන භාරකරු සිසිර මහත්මයත් දෙන්නගෙම කාල සීමාවල අපි දැකල තියෙනවා. තමුන් යන්නෙ ජාතික වනෝද්‍යානයක් ඇතුලට, ඒකෙ හර පද්ධතියක් තියෙනවා කියල වටහාගෙන යන්න. ඔබ නොහිතන තැන්වල නිලධාරීන් ඉන්නවා වගේම, උගුල් කැමරාත් තියෙනවා. ඒක නිසා බොහෝ විට එවලෙම නැතත් පස්සෙ හරි දඬුවම් විඳින්න වෙනවා කැත වැඩ එහෙම කලොත්. ඒ දඩත් බොහෝ විට එසේ මෙසේ ගණන්වල දඩ නොවෙන්න පුලුවන්. සමහර අය නම් ලක්ෂ ගණන් වල දඩත් කාලා තියෙනවා.

හෝටන්තැන්න කියන්නෙ ලංකාවේ පයින් ඇවිදගෙන යන්න පුලුවන් එකම ජාතික වනෝද්‍යානය. ඒ කියන්නෙ සංචාරකයින්ට එහි නිදහසේ ඇවිදගෙන යන්න පුලුවන් කොටස් තියෙනවා. එහෙම පයින් ඇවිදගෙන යන්න පුළුවන් වුනාට ජාතික වනෝද්‍යානයක් ඇතුලෙ නීතිමය රාමුවක් තියෙනවා. ආයෙම කියන්න තියෙන්නෙ සත්තුන්ට කෑම දෙන්න, මල්-කොල කඩන්න, මල් මිටි කඩාගෙන ඡායාරූප ගන්න, ගස් උඩට නගින්න, තෘණ පිටිවල ඇවිදින්න මෙහි තහනම්. මුලින්ම නීති ගැන වටහාගන්න. ඇයි මේවා කරන්න එපා කියන්නෙ තේරුම් ගන්න. මොකද දැනටත් හෝටන්තැන්න ගැන එහෙන් මෙහෙන් කසු කුසු යනවා තවදුරටත් ඒක ඇතුලෙ පයින් යන්න දෙනවද නැද්ද කියලා. ඔබේ හැසිරීම, ඔබේ වගවීම මත ඒවා ඉදිරි කාලයේදි තීරණය වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *