BREAKING NEWS
Search

කුඩා දරුවන්ගේ මොළයේ ආබාධ සොයන “පිහිනුම් තොප්පියක්”

735

දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීම සඳහා ආලෝකය සහ අල්ට්‍රා සවුන්ඩ් තාක්ෂණය භාවිතා කරන,’පිහිනුම් තොප්පියක්’ වැනි උපකරණයක් පිළිබඳ පරීක්ෂණයක් කේම්බ්‍රිජ්හි රෝසි මාතෘ රෝහලේදී ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

BBC වාර්තා කර ඇති පරිදි පර්යේෂකයන් පවසන්නේ මෙය ලෝකයේ ප්‍රථම වතාවට භාවිත කරන තාක්ෂණය බවයි.

දැනට සති තුනක් වයසැති තියෝ නම් ළදරුවා, අන් අයට වෙනසක් ගෙන ඒමට උපකාර කරමින් මෙම නව තාක්ෂණය අත්හදා බැලීමට දායක වෙමින් සිටින බව එම වාර්තාවේ දැක්වෙනවා.

ඒ අනුව දරුවා පළඳින කුඩා කළු පැහැති තොප්පිය තුළ, ඔහුගේ මොළයේ ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කරන තාක්ෂණය අඩංගු බව සඳහන්.

කේම්බ්‍රිජ් පර්යේෂකයන් පවසන්නේ, මෙම නව ක්‍රමවේදය මගින් මස්තිෂ්ක අංශභාගය, අපස්මාරය සහ ඉගෙනීමේ දුෂ්කරතා වැනි තත්ත්වයන් සහිත දරුවන්ගේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර කඩිනම් කිරීමට හැකි වනු ඇති බවයි.

ඉදිරි දශකය තුළ මෙම උපකරණය එක්සත් රාජධානියේ රෝහල්වලට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව BBC වාර්තාවේ දැක්වෙනවා.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල රෝහලේ අධ්‍යක්ෂවරයා පවසන පරිදි මෙම අධ්‍යයනය අරමුණු කරන්නේ, අලුත උපන් බිළිඳුන්ගේ තොටිල්ල අසලදීම මොළයේ ක්‍රියාකාරිත්වය තක්සේරු කිරීමේ පද්ධතියක් සංවර්ධනය කිරීමයි.

මේ අතර පරීක්ෂණයට ඉදිරිපත් වූ තියෝගේ මව වන ජෝර්ජිවා පවසා ඇත්තේ ඇය සහ ඇගේ සහකරු විද්‍යාඥයන් වන බැවින්, තම පුතා වර්ධනය වන විට වෛද්‍ය විද්‍යාවේ දියුණුවට ද ප්‍රතිලාභ ලබන නිසාවෙන් මේ සඳහා දායකත්වය ලබාදීමට අදහස් කළ බවයි.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!