BREAKING NEWS
Search

අලි මිනිස් ගැටුමට පාසල් ළමුන් පිරිසකගෙන් අගනා විසඳුමක්..!

4404

 

ශ්‍රීලාංකිකයාට සද්ධන්ත කුලය හෙවත් ඇත් පරපුර සමග පවතින හිතවත්කම සියවස් ගණනාවක් පැරණිය. වර්තමානයේ එම හිතවත්කම දරුනු අලි මිනිස් ගැටුමක් බවට පරිවර්තනය වී ඇත. එය අලි මිනිස් පැවැත්මට විශාල අභියෝගයකි. elephas maximus maximus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ශ්‍රී ලංකාවට ආවේණික අලියා ආසියානු උපවිශේෂයකි. මෙම සත්ත්වයන් 1986 දී වඳවී ගෙන යන සත්ත්ව කොට්ඨාසයක් වශයෙන් රතු දත්ත පොතටද (I.C.U.N) ඇතුළත් විය. මෙවැනි පසුබිමක ලෝකයේ වැඩිම අලි මිනිස් ගැටුම් පවතින රට සහ ලෝකෙ වැඩිම අලි මරණ සිදුවන රට ලෙස ශ්‍රී ලංකාව ලෝක වාර්තා දෙකක් පිහිටුවීමට සමත් වී ඇත. මෙය ඛේදනීය තත්ත්වයකි. මේ වන විට ලංකාවේ සමස්ත අලි ගහනය 5800 කි. ගිය වසර අවසානයේ වාර්තා වූ සමස්ත අලි මරණ 388 වූ අතර 2025 වසරේ ගෙවුණු මාස 6ක කාලය තුළ වාර්තා වූ අලි මරණ දෙසීය 219කි. ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අලි මරණ ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මෙම අලි ඇතුන්ගේ මරණ බොහෝමයක් මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදු වී තිබීමද කැපී පෙනේ. මෙවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාවේ අලි සම්පත විශාල අවදානමක සිටින බව පිළිගත යුතුය.

අලි මිනිස් මරණවලට තිත තැබීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රායෝගික පිළියම් සාකච්ඡා කරමින් යන අතරතුරේ අලි මිනිස් මරණ වළක්වා ගැනීමට තාක්ෂණික විසඳුමක් සෙවීමට පාසල් සිසුවෙක් සමත් වීම අගය කළ යුතු කාරණාවකි. එය අලි මිනිස් මරණ සහ අලි ගැවසෙන ස්ථාන පිළිබඳව සංඥාවන් ලබා දෙන “elephant journey” නම් දුරකථන යෙදුමකි. (Mobile App) වර්තමානයේ ස්මාර්ට් දුරකථනයක් නොමැති නිවසක් නොමැති තරම් ය. මෙම යෙදුම දුරකථනයට ස්ථාපනය කරගත් පසු පරිශීලකයාට අලි ඇතුන් සිටින ස්ථාන පිළිබඳව පෙර දැනුවත්වීමක් ලබාගත හැකි අතර අලින්ගෙන් වන අනතුරුවලින් ජීවිත බේරා ගනිමින් අලි ඇතුන්ගේ ජීවිතද ආරක්ෂා කළ හැකි වීම විශේෂත්වයකි. මෙම මෘදුකාංගය තුවක්කු උණ්ඩය මෙන් වේදනාකාරී නොවන ආරක්ෂිත උපක්‍රමයක් ලෙසද හඳුන්වා දීමට හැකිය. මෙම දුරකථන මෘදුකාංගයේ නිර්මාණකරුවා ගල්ගමුව අඹන්පොල ප්‍රදේශයේ ජීවවිද්‍යා අංශයෙන් උසස් පෙළ විනුර අබේරත්න සහ ඔහුගේ මිතුරන් වන චමල් නෙත්සර සහ සිතිජ නෙත්සර යන පිරිසයි. ඔවුන් වනජීවී ඡායාරූපකරණයට සහ වන සතුන් සංරක්ෂණයට දැඩි උනන්දුවක් දක්වන පිරිසකි. අඹන්පොල ගල්ගමුව ප්‍රදේශය අලි ඇතුන්ගේ රාජධානියක් බව කවුරුත් දන්නා කාරණාවකි. එසේම අලි ඇතුන්ට අනතුරු බහුල ප්‍රදේශයකි. විශේෂයෙන්ම මෑතකදී මියගිය සංඛ, දළ පූට්ටුවා සහ මීට දින කීපයකදී මියගිය භාතිය හස්තියා ලාංකීය අන්‍යතාවයන් ය. මේ මරණ සියල්ලම සිදු වූයේ ගල්ගමුවේ අඹන්පොල ප්‍රදේශයට ආසන්නව වීම කනගාටුවට කරුණකි. මේ මහා හස්තීන් හා වන අලි මියයෑම ලාංකේය සංස්කෘතික අනන්‍යතාවයන්ගේ විනාශය ආරම්භ වීමකි. මෙවැනි සංවේදී අත්දැකීම් නිරන්තරයෙන් අත්විඳීම නිසා තවදුරටත් අලි ඇතුන්ට මෙවැනි අවාසනාවන්ත ඉරණමක් ඇති නොවීමට විසඳුමක් සෙවීමේ ප්‍රථිපලය “elephant journey” යෙදුමයි. එය 2023 ජූලි මාසයේ නිර්මාණය කිරීම ආරම්භ කර ඇති අතර 2025 ජූලි මාසය වන විට මෙම මෘදුකාංගය ජනතාව අතරට ගෙන යෑමට සුදුසු තත්ත්වයට පත් කිරීමට විනුර අබේරත්න ඇතුළු ඔහුගේ මිතුරන් සමත් වී ඇත.

මෙම දුරකථන යෙදුමේ අරමුණ “අනතුරුදායක අලි මිනිස් ගැටුම වැළැක්වීමයි”. විශේෂයෙන්ම “elephant journey” මෘදුකාංගය හරහා අලියා හා මිනිසා සම්මුඛ වීම වළක්වාගැනීමට අවශ්‍ය තොරතුරු පරිශීලකයාට ලබාදෙයි. “Aware Avoid And Save – දැනුවත් වෙමු අනතුරු වළකමු” යන්න මෙම මෘදුකාංගයේ තේමාවයි. මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය දෙස බැලූ විට අලි මරණ වළක්වමින් මිනිසා සහ අලි ආරක්ෂා කිරීම ආකාර කීපයකින්ම සිදු කරයි. “elephant journey” යෙදුම භාවිතා කරන පරිශීලකයා යම් ස්ථානයකදී අලියකු දුටු විට අලියාගේ ඡායාරූපයක් සමගම එම ස්ථානය පිළිබඳව කෙටි විස්තරයක් යෙදුමට ඇතුළත් කළ හැකිය. එම තොරතුර වාර්තා කළ සැනින් අලියා සිටින ස්ථානයේ සිට කිලෝමීටර් පහක් දුරින් සිටින සියලුම පරිශීලකයන්ට ක්ෂණික දැනුවත් කිරීමක් (Alet Notification) ලැබේ. එසේම පරිශීලකයාට වන අලි මරණයක් හෝ වන අලි අපරාධයක් දුටු විට ඒ බවද මෙම යෙදුම හරහා ක්ෂණිකව අනෙක් පරිශීලකයන් දැනුවත් කිරීම කළ හැකි අතර ඒ මගින් වන අලි අපරාධ අවම කරගත හැකිය. මෙම

මෘදුකාංගයේ පවතින තවත් විශේෂත්වයක් වන්නේ පරිශීලකයා දෛනිකව ගමන් බිමන් යන මාර්ගයන් මෙම යෙදුමේ ගබඩා කළ හැකි වීමයි. එම ගමන් මාර්ගයේ අලියකු සිටී නම් “elephant journey” යෙදුම හරහා දැනුවත් කිරීමක් කරයි. ඒ අනුව පරිශීලකයාට ආරක්ෂාකාරීව ගමන් කිරීමට විකල්ප

මාර්ගයක් භාවිතා කිරීමට හා අලියාටත් තමාටත් හානි නොවන ආරක්ෂාකාරී උපක්‍රමවලට යොමු වීමට හැකිය. “elephant journey” යෙදුම හරහා මාසිකව වාර්ෂිකව අලි ඇතුන්ගේ හැසිරීම් රටා ගමන් රටා හා සිදුවූ අලි මරණ හා අනතුරු පිළිබඳව සමස්ත දත්ත වාර්තාවක් ලබාගත හැකිය.

ගම්මානවලට අලි ඇතුන් පැමිණීමට හේතු රාශියකි. වනාන්තර හෙළි පෙහෙළි කරමින් මිනිසුන් වාසය කිරීම ප්‍රධාන හේතුවයි. විශේෂයෙන්ම අලි ඇතුන් කලඑළි බසිනු ලබන ප්‍රධාන වේලාවන් දෙකක් පරිසරවේදීන් පෙන්වා දෙයි. එනම් හිමිදිරි කාලය සහ ඉර බසින සවස් යාමයයි. මෙම කාල පරිච්ඡේද දෙකේදීම අලින් හා මිනිසුන් අනපේක්ෂිත ලෙස සම්මුඛ වීමට වැඩි අවදානමක් ඇත. විශේෂයෙන්ම අලි මිනිස් මරණ වැඩි වශයෙන් උදෑසන 6.00- 7.00 පරිච්ඡේදය තුළ සිදු වේ. මෙම අලි ඇතුන්ගේ මරණ දළ ගැනීමට හෝ වෙනත් අරමුණු සඳහාම නොවන අතර අලියා මිනිසාගේ ස්වයං ආරක්ෂාවට මිනිසා විසින් ගනු ලබන විවිධ උපක්‍රම නිසා අලි මරණ බහුල වී ඇත. විශේෂයෙන්ම තුවක්කු පවතින පුද්ගලයන් තමන්ගේ ජීවිත, වගා ආරක්ෂා කර ගැනීම සඳහා එම ආයුධ භාවිතා කරන බව පර්යේෂණවලින් හෙළි වී ඇත. කෙසේ නමුත් අලි

ඇතුන්ගෙන් වගා හානිවලට පිළියම් ලබා දීමට රාජ්‍ය අංශය කටයුතු කළ යුතුය. අලි මිනිස් ගැටුමේදී වන අලි මිනිස් මරණ වළක්වා ගැනීමට “elephant journey” යෙදුම වඩාත් ප්‍රථිපලදායක විසඳුමකි.

මෙම මෘදුකාංගයේ වැදගත්කම වන අලි අවදානමක් සහිත ප්‍රදේශවල පරිශීලකයන්ට අලි ගැවසුණු ස්ථාන පරීක්ෂා කර සිය ගමන් බිමන් හා දෛනික කටයුතු ආරම්භ කිරීමට ඇති හැකියාවයි. මේ අනුව මෙම මෘදුකාංගය ගමක නම් සියලු දෙනා භාවිතා කිරීම මගින් එකිනෙකාගේ ජීවිත ආරක්ෂා කරගැනීමට එකිනෙකාට උදව් කරගත හැකිය. මෙම මෘදුකාංගය භාවිතයට ගතහැකි සාර්ථක මට්ටමකින් පවතින නිසා ව්‍යාපෘතියේ ආරම්භක පියවර ගල්ගමුව අඹන්පොළ ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිතය. අඹන්පොළ ප්‍රදේශයෙන්ම මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රධාන හේතු කීපයකි. ලංකාවේ වනගතව ජීවත් වන උසම හස්ථියා වන “කාවන්තිස්ස ඇතා” හෙවත් “මහා ඇතා” මේ වන විට අඹන්පොල ගල්ගමුව ප්‍රදේශයේ වාසය කිරීම, එමෙන්ම ලංකාවේ විශාල ප්‍රමාණයක් අලි ඇතුන් මෙම ප්‍රදේශයේ සංචාරය කිරීම සහ මෑතකදී මියගිය භාතිය හස්තියාට මෙන් අවාසනාවන්ත ඉරණමක් කාවන්තිස්ස පරපුරේ ඉතිරිව සිටින අලි ඇතුන්ට ඇති වීම වැළැක්වීම මෙම ව්‍යාපෘතියේ පුරෝගාමියා වන විනුර අබේරත්න අඹන්පොල වීමද මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට වඩා පහසුවක් වනු ඇත.

මෙම ක්‍රියාන්විතයේ පළමු පියවර ලෙස “elephant journey” කණ්ඩායම ඉදිරි සති අන්තවලදී අඹන්පොල ප්‍රදේශයේ වැඩිම අලි මිනිස් ගැටුම් සහිත ගම් කීපයක සංචාරය කිරීමට නියමිතය. ඔවුන්ගේ පළමු ඉලක්කය නිවාස දෙසීයකට ගොස් සෑම නිවාසයකම අවම වශයෙන් එක් ජංගම දුරකථනයකට හෝ මෙම යෙදුම ස්ථාපිත කර දීමයි. එමගින් ගම්මාන කීපයක් පුරාවට “elephant journey” ජාලයක් නිර්මාණය කොට මෙම ව්‍යාපෘතිය ප්‍රායෝගිකව අත්හදා බැලීමට මොවුන් විශාල පරිශ්‍රමයක් දරමින් සිටියි. ගම්මානවල ජීවත් වන පිරිස ආරක්ෂා කිරීම, වන අලින් වෙත එල්ලවන තර්ජන අවම කිරීම, අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීම සහ වනජීවීන් සංරක්ෂණය කිරීමට නවීන තාක්ෂණය ප්‍රායෝගික යොදා ගැනීම කණ්ඩායමේ ප්‍රධානතම පරමාර්ථයන් වේ. මෙම උත්සාහය තරුණයන්ගේ උත්සාහයකි. රටේ ඉතිරිව සිටින අලි ඇතුන්ගේ ජීවන හුස්ම රැක ගැනීමට දරන සංවේදී මෙන්ම අගය කළ යුතු උත්සහයකි. එමෙන්ම නවීන තාක්ෂණය ප්‍රායෝගික අත්හදාබලන ඓතිහාසික ප්‍රයත්නයක් ලෙසත්, වනජීවීන් සංරක්ෂණය කිරීමේ තාක්ෂණයේ නව ආරම්භයක් ලෙසත් මෙය හඳුන්වා දිය හැකිය. මෙවැනි ව්‍යාපෘතීන් රාජ්‍ය මට්ටමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහ ඉටු කළ යුතුය. සංචාරක කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගයක් කර ගත් ශ්‍රී ලංකාව වැනි තුන් වන ලෝකයේ රටක අලි සම්පත ප්‍රමුඛව වන සම්පත ආරක්ෂා කර ගැනීමට ප්‍රමාද වීමම ඛේදාන්තයකි. රටක් වශයෙන් අලි ඇතුන් ආරක්ෂා කර ගැනීම රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සහයෝගීත්වය සහ සමාජයේ දැනුවත් වීම අවශ්‍ය වේ. එය යුතුකමකට එහා ගිය වගකීමක් මෙන්ම ශ්‍රී ලංකාව වැනි ගොඩනැඟෙමින් පවතින ආර්ථිකයක් ඇති රටකට අනාගත ආයෝජනයකි. වන අලි මරණ දිගින් දිගටම සිදුවන මෙවැනි කාලයක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක වීම මේ වන විටත් සිදු විය යුතුය. නමුත් මෙවැනි ප්‍රශ්නවලදී නවීන තාක්ෂණය ඔස්සේ පිළියම් සෙවීමේදී ඔවුන් වඩාත් පසු පසින් සිටින වගක් පෙනෙන්නට තිබේ. අලි මිනිස් ගැටුමේ ආදීනව ප්‍රායෝගිකව අත්විඳින ගම්මානයක පාසල් ශිෂ්‍යයන් ලෙස අලි මිනිස් පැවැත්ම ආරක්ෂා කිරීමට මොවුන් අතින් නිමවුනු “elephant journey” දුරකථන යෙදුම මුළුමහත් ලාංකිකයන්ටම ආදර්ශයකි. ඇස් පනාපිට සිදුවෙමින් පවතින මෙවැනි සමාජ ගැටලුවලට විසඳුම් සොයන තරුණ පරම්පරාවේ උත්සහයන්ට ස්වේච්ඡා දායකත්වය සැපයීමට ද කැමති සමාජ ක්‍රියාකාරී සියලු දෙනාට “elephant journey” සමාජය විවෘත ය. තවදුරටත් “elephant journey” දුරකථන යෙදුම දියුණු කිරීමට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සහයෝගය ලැබෙනවා නම් ලංකාව පුරාවට ඇති වන අලි මිනිස් මරණ වළක්වා ගන්නට හැකි වන විකල්පයක් වනු නියතය.

● රසාංජලී වාසල
ජනසන්නිවේදන අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!