වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබන ප්‍රධාන සැකකරු මහරගම ප්‍රදේශයේදී කොටුකර ගැනීමට පොලිසිය සමත්ව තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන අංශය සහ රාජ්‍ය බුද්ධි සේවය එක්ව දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරු ආසන්න වශයෙන් අඩි 5 අඟල් 6ක් උස වන අතර, ඔහුගේ දකුණු අතේ ඉහළ බාහුවේ ඉංග්‍රීසියෙන් “ANURADA” ලෙසත්, වම් අතේ “හිතුමතේ ජීවිතේ” ලෙසත් පච්ච කොටා ඇති බව පොලිසිය හඳුනාගෙන තිබූ අතර එම ලක්ෂණ ප්‍රසිද්ධ කර ඔහුව අල්ලා දෙන ලෙස මහජන ඉල්ලීමක්ද කර තිබුණි.
පොලිස් නිලධාරීන් සමග කැකිරාව පොලිස් වසමේ ‘නිවාස 50’ ප්‍රදේශයේ උදෑසන ඇතිවූ පොරබැදීම අතරතුර මෙම සැකකරු පළා ගොස් සිටි අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කර පැය කිහිපයකින් මහරගමදී හසුවිය. ඝාතනයේ ප්‍රදාන වෙඩික්කරු ලෙස සැලකෙන ඔහු අඟුළුගම, බැඳිපිට, කොන්තපෙන ලිපිනයේ පදිංචි හක්මන පරනලියනගේ නුවන් තාරක නැමැත්තෙකි. නුවන් තාරක හිටපු යුද හමුදා සාමාජිකයෙකු බව වාර්තා වේ. මෙම ඝාතනයට අදාළ යතුරුපැදිකරු සහ යතුරුපැදිය ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබූ අතර, ප්‍රධාන සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.
මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් හය දෙනෙකු ද අද උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට අමතරව, ඝාතනයට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ තවත් සැකකරුවන් දෙදෙනෙකු ගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් දෙදෙනා මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අද (26) දින අළුයම් කාලයේදී අනුරාධපුර කොට්ඨාසයේ, කැකිරාව පොලිස් වසමේ ‘නිවාස 50’ ප්‍රදේශයේ සැඟවී සිටින බවට තොරතුරක් මත එම කොට්ඨාසයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදා නිලධාරීන් එක්ව, කමතක් සඳහා භාවිත කර අත්හැර දමා තිබූ ඉඩමක පිහිටි නිවසක් වටලා පරීක්ෂා කර තිබේ. එහිදී මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබුණි.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, ඔවුන් සමග සිටි තවත් පිරිසක් පොලිස් නිලධාරීන් සමග පොරබැදීමක් සිදුකර ඇති අතර, එම අවස්ථාවේ තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී, අපරාධය සඳහා භාවිත කළ බවට සැකකෙරෙන යතුරුපැදියක්, රුපියල් ලක්ෂ දොළහ ඉක්මවූ මුදලක්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයට ගන්නා උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම ප්‍රධාන සැකකරුවන්ට නවාතැන් හා පහසුකම් සලසමින් එම ප්‍රදේශයේම පදිංචිව සිටි තවත් පුද්ගලයෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ
මේ අතර, සභාපතිවරයාගේ ඝාතනය සඳහා ආධාර සහ අනුබල ලබා දුන් බවට සැකකෙරෙන තවත් පුද්ගලයෙකු ද අද උදෑසන ගාල්ලේදී වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගාල්ල, හියාරේ ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකි. මෙම ත්‍රිරෝද රථ රියදුරා වෙඩි තැබීම සිදු වූ දිනට පෙර දිනයේ තුවක්කුකරුවන් සමග ගාල්ල සහ මාතර ප්‍රදේශවල සංචාරය කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. මහරගමදී අත්අඩංගුවට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කළ වෙඩික්කරු අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ පොලිසිය ප්‍රශ්න විමසද්දී පිළිතුරු ලබාදෙන හැටි දැක්වෙන වීඩියෝවක් ප්‍රසිද්ධියට පත්ව තිබේ.
එය පහතින්,







