BREAKING NEWS
Search

මල්වතු මහා නායක හිමියන්ගේ ඥාතියෙකු ලෙස පෙනී සිටි රංගන ශිල්පියෙකු අත්අඩංගුවට

2197

අද කාලයේ රජයේ කාර්යාලයකින් ඉක්මණින් වැඩක් කරගන්නට හිතවතුන් දැනගැනීමට අවශ්‍යවේ. එවැනි හිතවතුන් නැති නම් ලොකු හැඳුනුම්කමක් ඇති අයෙකු නම් කිරීමද උපායකි. බොරුවට පෙන්වන ලොකු හැඳුනුම්කම් මගින් ඇතැමුන් නිලධාරීන් රවටා කෙසේ හෝ වැඩ කරගනී. මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන්ගේ ඥාතියෙකු ලෙස පෙනී සිටි රංගන ශිල්පියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තා වන අන්දමට, සැකකරු පොලිසිය සමග දුරකථන සංවාදයකදී අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ලෙස ද පෙනී සිට ඇත.

සැකකරුට එරෙහි චෝදනාව වන්නේ මල්වතු මහා නායක හිමියන්ගේ ඥාතියෙකු බව පවසමින් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට තර්ජනය කොට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමයි.

මහනුවර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු දිගන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි රංගන ශිල්පියෙකි.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ මල්වතු පාර්ශ්වයේ නිලධාරියෙකු විසින් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරු පසුගිය දිනක කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයදුම්පතක් යොමු කර තමන් මල්වතු මහා නායක හිමියන්ගේ ඥාති පුත්‍රයෙකු බව පවසමින් එම කටයුත්ත කඩිනමින් සිදු කරන ලෙස බලපෑම් කර ඇත.

මේ සම්බන්ධයෙන් සැක පහළ වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මල්වතු මහා නායක හිමියන් දැනුවත් කිරීමෙන් අනතුරුව, මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල හිමියන් විසින් මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
වැඩිදුරටත් වාර්තා වන පරිදි, සැකකරු ජාතික හැඳුනුම්පත ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කරවා ගැනීම සඳහා මල්වතු මහා නායක හිමියන් ලෙස පෙනී සිටිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරීන්ට දුරකථන ඇමතුම් ලබා දී ඇත. මෙම නිලධාරීන්ට අමතමින් කඩිනමින් තම ඥාති පුත්‍රයාගේ හැඳුනුම්පත සකසා දෙන ලෙස ඉල්ලීම් කර ඇත.
ඔහු ටෙලි හා වේදිකා නාට්‍යවල සුළු චරිතවලට පෙනී සිටි රංගන ශිල්පියෙකු බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ. සැකකරු දිගන නව නගරය රජවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන, මහනුවර පොලිස් අධිකාරි ඉලංගකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් ශ්‍රී රාජපක්ෂ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිති.

gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *