BREAKING NEWS
Search

වතු පඩි වැඩි කළ නිසා අනුර හොඳායි – 21 රැළියෙන් අපි කැපුණා”

253

ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම මස 21 වන දින කොළඹදී පැවැත්වීමට නියමිතව ඇති රැලිය සඳහා දමිළ ප්‍රගතිශීලි සංධානය සහභාගී නොවන බවට තීරණය කර තිබේ. දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා (16) දින හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම ස්ථාවරය ප්‍රකාශ කළේය.

විපක්ෂයේ දේශපාලන ක්‍රියාමාර්ගවලට සහය නොදක්වන නමුත්, තම සංධානය විපක්ෂයේ ස්ථාවරයේ සිටිමින් රජය ක්‍රියාවට නංවන යහපත් වැඩ කටයුතු සඳහා සහයෝගය ලබා දෙන බවද දිගම්බරම් මහතා පැවසීය. විශේෂයෙන් වතුකරයේ ජනතාවගේ ගැටළු විසඳීම සඳහා ආණ්ඩුව ගන්නා සෑම පියවරකටම දමිළ ප්‍රගතිශීලි සංධානයේ පූර්ණ සහයෝගය හිමිවන බවද ඔහු අවධාරණය කළේය.

වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා, ඉතිහාසයේ කිසිදු අවස්ථාවක වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ නැංවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීමක් සිදු නොවූ බව කීය. එවන් පසුබිමක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1750 දක්වා ඉහළ නැංවීමට ගත් තීරණයට තමන් ස්තූතිවන්ත වන බවද ඔහු සඳහන් කළේය.

ආණ්ඩුවේ මෙම වැටුප් වැඩි කිරීම හේතුවෙන් වතුකරය නියෝජනය කරන දමිළ දේශපාලනඥයින් වතු ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට ඇතැම් මාධ්‍ය මගින් ගෙන යන ප්‍රචාරයද පලනි දිගම්බරම් මහතා ප්‍රතික්ෂේප කළේය. ඔහු කියා සිටියේ මෙය ආණ්ඩුවේම ඇතැම් පාර්ශවයන් විසින් මෙහෙයවනු ලබන සැලසුම් සහගත ක්‍රියාවක් බවයි.

වතු කම්කරුවන් යනු ඕනෑම අවස්ථාවක වෙනස් විය හැකි ජනතාවක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ මහතා පවා නැවත නිවෙස් බලා යැවීමට කටයුතු කළේ මේ රටේ බහුතර ජනතාව බව සිහිපත් කළේය. එම ජනතාවට වත්මන් රජය වුවද ඕනෑම මොහොතක බලයෙන් පහ කළ හැකි බව වටහාගෙන රජය කටයුතු කළ යුතු බවටද දිගම්බරම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *