වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ බිරිඳ සීලියා ෆ්ලෝරස්ය (Cilia Flores).
මදුරෝ මෙන්ම ඇය ද ප්‍රබල දේශපාලන චරිතයකි. මදුරෝගේ ආදරණීය බිරිඳ වීමට පෙර ඇය, මදුරෝට පෙර බලයේ සිටි හියුගෝ චාවේස්ගේ විශ්වාසවන්තම නීතීඥවරියයි.

1956 ඔක්තෝබර් 15 වන දින වෙනිසියුලාවේ ටිනාකිලෝ නගරයේ උපත ලැබූ සීලියා, සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයාය. ඇගේ ළමා කාලය ගෙවුණේ මැටි ගඩොලින් තැනූ, බිමට වැලි දැමූ කුඩා නිවසකය. ඇගේ පියා නගරයෙන් නගරයට ගිය වෙළෙන්දෙකි. පසු කාලයක, ඇගේ පවුල වඩා හොඳ ජීවිතයක් සොයා අගනුවර වන කැරකස් වෙත සංක්‍රමණය වූ අතර, එහිදී පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් අපරාධ නීතිය හැදෑරීමට සීලියාට අවස්ථාව ලැබුණි.
මුල් කාලයේදී ඇය දේශපාලනය කෙරෙහි උනන්දුවක් දැක්වූයේ නැත. ඇය පොලිස් පරීක්ෂකවරයකු සමඟ විවාහ වී පුතුන් තිදෙනකු ලැබූ අතර, වසර දහයක පමණ කාලයක් පෞද්ගලික ආයතනයක විත්ති පක්ෂයේ නීතිඥවරියක ලෙස සේවය කළාය.

1989 වසරේ දී ඉන්ධන මිල ඉහළ යෑමට එරෙහිව ඇති වූ කැරකැසෝ කැරැල්ල සීලියාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය විය. ඇය දේශපාලනයට නැඹුරු වූයේ එම කැරැල්ලෙන් පසුවය. 1992 දී හියුගෝ චාවේස් විසින් මෙහෙයවූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයෙන් පසු, ඇය ඔහු කෙරෙහි දැඩි ලෙස පැහැදීමකට පත්වුණු බව පැවැසෙයි. මේ බව අනාවරණය කර ඇත්තේ ද සීලියා ය. ඇය චාවේස්ට ලිපියක් යවමින් ඔහුගේ නීතිමය ආරක්ෂාව සඳහා සහාය වීමට ඉදිරිපත් වූ අතර, එතැන් පටන් ඇය චාවේස්ගේ සමීපතම උපදේශිකාවක බවට පත් වූවාය.

චාවේස් හමුවීමට යද්දී සීලියාට එවකට ජනප්‍රිය වෘත්තීය සමිති නායකයා හමුවිය. ඒ නිකලස් මදුරෝය. ඒ වනවිට ඔවුහු දෙදෙනාම ඔවුන්ගේ පෙර විවාහවලින් වෙන්වීමට සූදානමින් සිටියහ. එසේ හමුවී පෙම්වතුන් මදුරෝ සහ සීලියා පෙම්වතුන් වූහ.
1994 දී චාවේස්ට ජනාධිපති සමාව හිමිවිය. ඉන්පසු චාවේස්, සිවිල් නායකයකු ලෙස ජනතාව අතරට ගෙන යෑමට කැප වී කටයුතු කළේ සීලියා ප්‍රමුඛ ඇගේ කණ්ඩායමය. 1998 දී චාවේස් ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ සීලියාගේ දේශපාලන ගමන වේගවත් විය. 2000 දී ඇය වෙනිසියුලා පාර්ලිමේන්තුවට (ජාතික සභාවේ) මන්ත්‍රීවරියක ලෙස තේරී පත් වූවාය. 2007 දී ජාතික සභාවේ නායිකාව ලෙස පත් වූවාය. 2012 වසරේ දී ඇය වෙනිසියුලාවේ නීතිපතිවරිය ධුරයට පත්වූවාය.
2013 දී හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු මදුරෝ ජනාධිපති ධුරයට පත් වූ අතර, එම වසරේම ජූලි මාසයේදී ඔවුහු දෙදෙනා විවාහ වූහ. එතැන් පටන් වෙනිසියුලාවේ ජනාධිපති ආර්යාව ලෙස කටයුතු කරන්නේ සීලියා ෆ්ලෝරස් ය.
මදුරෝට-බිරිදට අධිචෝදනා

ඇමෙරිකානු හමුදා භාරයට ගැණුනු වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ට එරෙහිව නිව්යෝර්ක් දකුණු දිස්ත්‍රික් අධිකරණයේ අපරාධ නඩු පවරා ඇති බව ඇමෙරිකන් නීතිපති පැම් බොන්ඩි නිල වශයෙන් නිවේදනය කර ඇත.
ඇමරිකානු නීතිපතිවරියට අනුව මදුරෝ යුවළට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය ඇතුළු බරපතල චෝදනා රැසක් යටතේ අධිචෝදනා ගොනු කර ඇතැයි ද පැවැසෙයි.
ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම හරහා ත්‍රස්තවාදී කටයුතුවලට අනුබල දීම, ඇමරිකාව තුළට විශාල වශයෙන් කොකේන් මත්ද්‍රව්‍ය ගෙන්වීමට කුමන්ත්‍රණය කිරීම, මාරක අවි සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, මැෂින් තුවක්කු සහ විනාශකාරී උපකරණ ඇමරිකාවට එරෙහිව භාවිතා කිරීම සඳහා ළඟ තබා ගැනීම සහ ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම ආදී චෝදනා ඊට අයත් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
වෙනිසියුලාව කොකේන් ප්‍රවාහනය කරන ප්‍රධාන මාර්ගයක් බවත්, ඇමරිකාවේ ‘ෆෙන්ටැනයිල්’ අර්බුදයට දායක වන බවත් ට්‍රම්ප් තර්ක කරයි. ඔහු වෙනිසියුලානු අපරාධ කල්ලි දෙකක් වන ‘ට්‍රෙන් ඩි අරගුවා’ සහ ‘කාර්ටෙල් ඩි ලොස් සෝල්ස්’ විදේශීය ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කර ඇත. ‘කාර්ටෙල් ඩි ලොස් සෝල්ස්’ කල්ලිය මෙහෙයවන්නේ මදුරෝ විසින් යැයි ද ට්‍රම්ප් චෝදනා කර ඇත. කෙසේ නමුත් මෙම සියලු චෝදනා වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ බිරිඳ ප්‍රතික්ෂේප කර ඇතැයි ද පැවැසෙයි.
( lankadeepa )







