BREAKING NEWS
Search

16 වසරකට හිරේ ගිය එස්ෙම් රංජිත් සහ නෑනාගෙන් ඇප අයදුම්පතක්..!

2367

අල්ලස් පනත යටතේ දූෂණය සිදුකිරීමේ වරදට බරපතල වැඩ සහිත වසර 16ක සිරදඬුවම් නියමව සිටින උතුරුමැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සහ ඔහුගේ නෑනනිය වන ශාන්ති චන්ද්‍රසේන, තමන් ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණය වෙත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර ඇත. ඔවුන් විසින් සිය දඬුවමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති අභියාචනයට යටත්ව මෙම ඉල්ලීම සිදුකර තිබේ.

 

 

කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ මෙම ඇප ඉල්ලීම කැඳවනු ලැබූ අතර, එහිදී විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පෙනී සිටියේය. සිය සේවාදායකයින් විසින් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින්, එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තෙක් ඔවුන් ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා, මෙම ඇප ඉල්ලීමට අදාළ කරුණු දැක්වීම සඳහා අගෝස්තු මස 25 වන දින නැවත නඩුව කැඳවීමට නියම කළේය.

හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා, 2012 සැප්තැම්බර් 27 සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සිය පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන වෙත වැටුපට අමතරව ඉන්ධන දීමනාවක් ලබාදී තිබියදීත්,

නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 26කට අධික වටිනාකමකින් යුත් ඉන්ධන ඇණවුම්පත් ලබාදීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා හයක් යටතේ අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි. දීර්ඝ නඩු විභාගයකින් පසුව, පසුගිය අප්‍රේල් මස 2 වන දින, පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි තීරණය කළ මහාධිකරණය විත්තිකරුවන් දෙදෙනාට වසර 16 බැගින් වූ සිර දඬුවම් නියම කරන ලදී.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *