BREAKING NEWS
Search

භාතියගේ ඇත්ත කතාව… මේ ඉල්ලන්නේ එයාගේ ජීවිතය විතරක් නෙමෙයි සමස්ත රටටම පරිසර සංරක්ෂණ සැලැස්මක්..’ මුහුණුපොතේ සටහන් වූ වටිනා සටහන

930

භාතියගේ ඇත්ත කතාව….භාතිය වෙනදා මෙන් නැකිට සුපුරුදු විකුම පානු මැන……

ඇත්තටම භාතියට මොකද වුණේ ?භාතිය උස්සන්න පුළුවන් ද? භාතිය උස්සන ක්‍රමය හරි ද? වතුරේ හිටියාම මොකද වෙන්නේ ? දැන් කරන්න ඕනේ මොකක් ද? වගේ ප්‍රශ්න ගණනාවක් දිනපතා විශාල පිරිසක් විවිධ මාධ්‍ය ඔස්සේ විමසති.මේ පිළිබඳ දිර්ඝ විස්තරයක් කළ යුතු වුවත් ඊයේ (06) දින දුටු ඇතැම් දේවල් අනුව මෙලෙස යම් සටහනක් පමණක් තබමි.

01.ඇතාට සිදුව තිබු අනතුර කුමක් ද?

බොහෝ දෙනා මේ ගැන විවිධ දේ පවසන බව පෙනෙන්නට තිබේ.ඒ හේතුව නිසාම මේ අදහස් ටික සටහන් කරමි.භාතිය ලෙස නම් තැබු මේ ඇතා පසුගිය මැයි 19වැනිදා වනජීවීයට හමු වනවිට ද සිටියේ ඉතාම අසිරු අවදියක බව ප්‍රථමයෙන්ම කිව යුතුය.ඒ වනවිට ඇතාගේ දකුණු පාදය සම්පුර්ණයෙන්ම ආකර්මණ්‍ය තත්ත්වයක පැවතිණී.එම පාදයේ විෂ්කම්බය වට අඩි හයකි.එතරම්ම එම පාදය ඉදිමි තිබිණී.එම පාදයට බර දීම ඒ වනවිටත් ඇතා අතහැර තිබු අතර නිතරම ගසක හෝ ආධාරකයක් ගැනීමට ඇතා කටයුතු කරන බව පෙනෙන්නට තිබිණී.මෙම ආසාමාන්‍ය ඉදීමිම හේතුවෙන් එය එක්ස් කිරණ පරීක්ෂාවකට ලක් කිරීම අපහසු වුයේ ලංකාවේ පවත්නා එක්ස් කිරණ උපකරණයට එතරම් පළල කකුලක් ස්කැන් කිරීමේ හැකියාව නොමැති බැවිනි.

(මම දන්නා ආකාරයට වනජීවීය සතුව ඇත්තේ 110 KVa යන්ත්‍රයකි.) ඒ හේතුවෙන් ඇතාගේ ලේ සාම්පල පළමු වතාවට පරීක්ෂාවට ලක් කිරීම සිදු විය.පසුගිය 6වැනිදා ගන්නා ලද්දේ මා දන්නා ආකාරයට සිව්වැනි ලේ සාම්පලයයි.පළමු අවස්ථාවේ ගත් ලේ සාම්පලවලට වඩා ඉතාම භායනක තත්ත්වයක් දැන් වනවිට දැක ගන්නට තිබෙන බව ද කිව යුතුව ඇත.
මුල් අවස්ථාවේ ඉදිරි පාදයේ විශාල ආසාදනයක් පවතින බව තාප සංවේදී කැමරා මගින් සොයා ගන්නා ලද අතර එතැන් සිට ප්‍රතිජීවක ඖෂධ ලබා දීම ආරම්භ විය. එම භායානක ආසාධනය වැලමිට සන්ධිය වටා ව්‍යාප්තව තිබිණී.ඉදිරි පාදයේ දරුණු ආසාධනයට හේතුව වෙඩි පහරක් බව පැහැදිලි වු අතර නොකඩවා එයට ප්‍රතිකාර කරනු ලැබිය.එක් වරක් පමණක් ඇතා නිදි ගැන්වීම වනජීවී පශු වෛද්‍යවරු සිදු කළහ.ඒ xylazine සහ ketamine යන ඖෂධ මගිනි.

වනජීවී පශු වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර හේතුවෙන් ඉදිරි දුකුණු පාදයේ ආසාදනය සැලකිය යුතු ආකාරයකින් අඩු වු බව කිව යුතුම දේයකි.එහෙත් ඉදිරි එක් පාදයකට ඇතාගේ මුළු බරෙන් තුනෙන් දෙකක් වැටුණු බැවින් එම පාදය ද ආකර්මණ්‍ය තත්ත්වයකට පත් විය.සමහර විට මැස්සක ආධාරය ඒ මොහොතේ ලබා දුන්නේ නම් එම අනතුර වලක්වා ගත හැකිව තිබිණී.කෙසේ වුව ද ඉදිරි පාද දෙකටම ශරීර බර දරා ගත නොහැකි වීම හේතුවෙන් ඇතා ඇද වැටීම සිදු විය. ඇතා තුවාලව සිටින අවදියේ ද බරපතල වෙඩි ප්‍රහාර කිහිපයකට ද ලක්ව තිබිණී.ඒ අතරින් වම් කන පිටුපසින් ගිය වෙඩි පහර අතිශය බලවත් වුවකි.ඒ හරහා ස්නායු තෙරපිමක් සිදුව තිබු අතර හොඬවැළ නිසි ලෙස ක්‍රියා කිරීම ඉන් ඇහිරි තිබිණී.සමහර විට මෝළයේ යම් ආකර්මන්‍යතාවයක් වුව සිදු වී තිබිය හැක.

ජලය තුළ විශාල කාලයක් සිටිම හේතුවෙන් ද සෙසු රෝගී තත්ත්ව හේතුවෙන් ද ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය වේගයෙන් පිරිහිමකට ලක් වු බව රහසක් නොවේ.ලබා දුන් ආහාරවල ගැටළුකාරි බවක් තිබෙන බව පෙනෙන්නට ඇත.එහෙත් වනජීවී පශු වෛද්‍යවරු සේම මහව අඩවි කාර්යාලයේ අනුයුක්ත සේවකයන් නව දෙනාම ද විශාල මහන්සියක් ගෙන කටයුතු කළ බව කිව යුතුම දේයකි.

02.භාතිය උස්සන්න පුළුවන් ද?

පශු වෛද්‍යවිද්‍යාවට අනුව නම් එය මේ මොහොතේ නොකළ යුතු දේයකි.එයට හේතුව මෙම ඇතාගේ ඉදිරි පාදවල මේ මොහොත වනවිට පවත්නා දුර්වල තත්ත්වයි.

සාමාන්‍යයෙන් මෙවැනි සතෙකුගේ ශරීර බර ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් කේන්ද්‍ර ගත වන්නේ ඉදිරි පාද දෙක මත ය.ඇතෙක් විම හේතුවෙන් ඒ බර තවත් වැඩි ය.වර්තමානය වනවිට එම සතාගේ එම පාද දෙකම ප්‍රතිශතයක් ලෙස ආකර්මන්‍ය තත්ත්වයට බරව ඇත.එහෙයින් නැකිට්ට වීම මත පමණක් ඇතාට සිය ශරීරයේ බර දරා ගෙන රැදි සිටිය නොහැක.එලෙසම අද ඇතාගේ ශරීරය පත්ව තිබෙන දුර්වලතාව වෙනස් නොකොට නැකිට්ට වීම විහිළුවකි.සතාගේ ශරීර ශක්තිය වර්ධනය වීමෙන් පසුව ද ඇතා නැකිට්ටවා රඳවා තබා ගත යුත්තේ ඉහලින් ද ආධාරකයක් සහිත මැස්සක ආධාරයෙන් පමණී.මෙහි එවැනි
ඡායාරුපයක් දක්වා ඇත.

03.ඇතා ඔසවන ක්‍රමය නිවැරදි ද?

මේ පිළිබඳව ද බොහෝ දෙනා විමසති.මෙවැනි විශාල බරක් සහිත සතෙකු එසවීමේ දී සතාගේ අභ්‍යාන්තර අවයවවලට හානි නොවන ආකාරයට එසවීම අනිවාර්ය වුවකි.එසවීමට භාවිතා කරන දෝඹකරයේ කෝණය පවා මෙහිදි සකස් කරන්නේ සතාගේ බර බෙදි යන ආකාරයට ය.ඊට අමතරව ගණකම් කොට්ට උරයක් බඳු රෙදි කැබැල්ලක් භාවිත කරන අතර ඒ හරහා පටි විශාල ගණනක් භාවිත කිරීම එසවීමේ මුලික ක්‍රමවේදයයි.පටි දෙකකින් එසවීම ඉතාම අවදානම් සහගත වැඩකි.යම් හේයකින් එක් පටියක් කැඩි ගිය හොත් එමගින් සිදුවෙන විනාශය සුළුපටු නැත.ඊට අමතරව පටි වැඩි කිරීම හරහා සතාගේ ශරීරයේ අභ්‍යාන්තර තෙරපුම අවම වේ.මේ අර්ථයෙන් බලන විට මුල සිටම මේ සතා එසවීම හා රැඳවීම සම්පුර්ණයෙන්ම එකඟ විය හැකි ආකාරයට සිදු නොවු බව කිව යුතුම දේයකි.පටි දෙකක් පමණක් යොදා ඇතා එසවීම හේතුවෙන් නොදන්නා අභ්‍යාන්තර අවයව හා මස්පිඩුවලට හානි සිදුවීමේ ඉඩකඩ වැඩි ය.

04.වතුරේ හිටියාම මොකද වෙන්නේ ?

වතුරේ දැමීම මගින් වනජීවී පශු වෛද්‍යවරුන් බලාපොරොත්තු වුයේ ඇතාගේ බර එම ඇතාට වතුරේ උඩුකුරු තෙරපුම හේතුවෙන් යම් වාසියක් ගෙන එන බව විය යුතු ය.එහෙත් මගේ පෞද්ගලික අදහස නම් වතුරේ සිටිම හරහා ඇතාට බරපතල හානියක් සිදු වු බව ය.ඇතාට ජලයේ රැඳි සිටිම හේතුවෙන් හුස්ම ගැනීම සඳහා දිගු වෙහෙසක් ගැනීමට සිදු විය.එමගින් ශරීරයේ ශක්තිය ඒ සඳහා වැය විය.එලෙසම නිදා ගැනීම වැනි කාරණා කිසිසේත්ම වතුර මත කළ නොහැකි ය.යම් හෙයකින් ඇතා සිහි මුර්ජා වුයේ නම් හොඩය වතුරේ ගිලි මිය යාම සිදු වීමට ඉඩ තිබිණී.එලෙසම හොඬය ක්‍රියාත්මක කරවීමේ ස්නායු ආබාධයක් සහිත ඇතෙකු මේ ආකාරයට තැබිම සම්පුර්ණයෙන්ම එකඟ විය නොහැකි තත්ත්වයකි.වෙනත් සංකුලතා ගණනාවක් මේ හරහා ඇති වීමේ ඉඩකඩ තිබිණී.එලෙසම එක් පාදයක් හා එක් දළයක් මඩේ එරි තිබුන අතර ඇතා සිටියේ උගුලක සිර වු පරිද්දෙනි.හම කැබලි බවට වෙන්වන තැනට සුදුමැලි වී තිබිණී.මෙය විශාල හානිකර තත්ත්වයකි.

05.දැන් කරන්න ඕනේ මොකක් ද?

බොහෝ අය අසන අනෙක් පැනය එය බවට පත්ව ඇත.පෙනෙන ආකාරයට නම් ඇතාට වර්තමානය වනවිට අවශ්‍ය කාරණා කිහිපයක් තිබේ.ඉන් පළමු වැන්න නිවැරදි රෝග නිශ්චය කිරීමක් හා අවශ්‍ය නිවැරදි ගුණාත්මක ඖෂධ නිසි මාත්‍රාවකින් යුක්තව නිසි කාලයක් ලබා දීම ය.ඒ හා සමානවම ශරීරයේ ශක්තිය වර්ධනය වන එහෙත් පහසුවෙන් දිරවන ආහාර ලබා දීම කළ යුතුම දේයකි.සාම්ප්‍රදායික අලි වෙදකම තුළ මෙවැනි අලින්ට ශක්තිජනක පානයක් ලෙස තැඹිලි ලබා දීම අතීතයේ සිටම සිදු කරන්නකි.

ඇතා නැකිට්ටවනවාද නැද්ද යන්න තිරණය කළ යුත්තේ එම ක්‍රියාවලියේ ප්‍රගතිය මත ය.වර්තමානයේ ඇතාගේ ඇස් වසා දැමීම ද අතිශය වැදගත් ය.තමා අසලටම මිනිසුන් පැමිණීම මෙවැනි වන ඇතෙකුට දරා ගත නොහැකි පිඩනයකි.එමගින් නිතරම ඇඩ්ඩර්ලින් ප්‍රමුඛව විවිධ හෝර්මෝන ශරීර අභ්‍යාන්තරයේ පිටවීම සිදු වේ.(Capture myopathy)එය යම් තරමකට අඩු කර ගැනීමට ඇස් වැසීම ඉවහල් වේ.භාතියගේ හෙට දවස තිරණය වන්නේ මේ සියල්ලේම සම්මිශ්‍රණයකින් පමණී.වඩා වැදගත්වන්නේ භාතියලා බිහිවන සන්දර්භය දැන්වත් වෙනස් කිරීම පමණක් වන අතර භාතියට සිදු වු දේය හා වනජීවීය සිදු කළ දේ පිළිබඳ සොයා බැලීමට ස්වාධින දැනුම තියෙන විමර්ශණ කමිටුවක් පත් කිරීමට ද යෝජනා කරමි !

Nayanaka Ranwella Post !

📷වල අයිතිය මුල් හිමිකරුවන් සතුය

පසුව ලියමි

වනජීවී සංරක්ෂණය ඉතාම පෘථුල විශයකි.මගේ දැනුම ඒ මහ විශයෙන් වැලි කැටයකටත් අඩු ය.මේ ලියා ඇත්තේ ඉන් ද දශමයකි.එහෙයින් අපට වඩා මේ විශය දන්නා අයට දොර කවුළු විවර කරමි. එන්න ඔබේ වටිනා අදහස මෙහි තබා යන්න…..

භාතිය ඔබ ඉක්මනින්ම සුවපත් වේවා !

Copied




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!