BREAKING NEWS
Search

අස්වැසුම’ ගන්න ටවුමට ගිය තරුණියගේ සිරුර වතුර වළක

2374

‘අස්වැසුම’ දීමනාව ලබාගැනීම සඳහා රත්නපුර නගරයට ගිය 21 හැවිරිදි තරුණියකගේ සිරුරක්, රත්නපුර වේවැල්වත්ත පොලිස් වසමේ ජල විදුලි බලාගාරයක නළ පද්ධතියක් ආසන්නයේ ජලයේ තිබී ඊයේ (16) සොයාගෙන තිබේ. රත්ගම වතුරකානුව ප්‍රදේශයෙන් හමුවූ මෙම සිරුර, රත්නපුර හපුගස්තැන්න පහළ කෑල්ල,

ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි මුත්තයියා බේබි ෂාමරි නමැති තරුණියගේ බවට හඳුනාගෙන ඇති අතර, වේවැල්වත්ත පොලිසිය මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

ඊයේ (16) පෙරවරු 10.30 ට පමණ ගම්වාසීන් විසින් මෙම මළ සිරුර පිළිබඳව වේවැල්වත්ත පොලිසියට තොරතුරු සපයා ඇත. දෙමෝදර ගඟේ සිට වේවැල්වත්ත බානගොඩ කුඩා ජල විදුලි බලාගාරයට ජලය ගෙන එන නළ මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිරුර රැඳී තිබී හමුවූ බව පොලිසිය සඳහන් කරයි. සිරුර හමුවී පැය එකහමාරක් පමණ යන තුරු එය හඳුනාගෙන නොසිටි අතර, පසුව එම ස්ථානයට පැමිණි මියගිය තරුණියගේ මවුපියන් විසින් එය තම දියණියගේ සිරුර බවට තහවුරු කර තිබේ.

මියගිය තරුණිය පෙරේදා (15) උදෑසන දහයට පමණ ‘අස්වැසුම’ මුල්‍යාධාරය බැංකුවෙන් ලබාගැනීම සඳහා නිවෙසින් පිටත්ව රත්නපුර නගරයට ගොස් ඇති බවට මවුපියන් පොලිසියට ප්‍රකාශ කර ඇත. එදින ඇය නැවත නිවෙසට නොපැමිණි හෙයින් ඒ පිළිබඳ සොයා බලමින් සිටියදී ජලයේ සිරුරක් පාවෙමින් තිබෙන බවට තොරතුරක් ලැබුණු බවද ඔවුහු පවසා තිබේ.

තරුණියගේ සිරුර හමුවූ ස්ථානයට නුදුරින් ඇය ඇඳ සිටි ඩෙනිම් කලිසම සහ යට ඇඳුමක් ද තිබී සොයාගෙන ඇත. එම කලිසම් සාක්කුවේ තිබී රුපියල් එකොළොස් දහසක මුදලක්ද පොලිසිය සොයාගෙන ඇති අතර, එය ‘අස්වැසුම’ දීමනාව ලෙස ලබාගත් මුදල බවට විශ්වාස කෙරේ.

මෙම මරණය ඝාතනයක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) රත්නපුර ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතය. රත්නපුර අපරාධ ස්ථානාගාර (සොකෝ) ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වින්තක මායාදුන්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ වේවැල්වත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Source – Gossip Lanka News

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!