BREAKING NEWS
Search

විජයගේ අන්තිම පැය ගැන චන්ද්‍රිකා හෙළිකරයි

959

විජය කුමාරණතුංගට මුළු රටම ආදරය කළා. ඒ විජය අති දක්ෂ නළුවෙක් වීම හින්දම නෙවෙයි. ඔහු සතුව තිබූ මානුෂීය ගතිගුණත් ඒකට හේතු වුණා. ඒ ආදරය හරහා ගොඩනැඟුණු ශක්තිය විජයව දේශපාලනයට ගෙන ආවා. සිනමා නළුවෙක් විදියට විජයට ආදරය කරපු දහස් ගණනක් කාන්තාවන් ඉන්න ඇති. එහෙම තියෙද්දී අපේ රටේ ප්‍රධාන පෙළේ දේශපාලන පවුලක යුවතියක් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක විජයගේ ආදරවන්තිය වීමත් ඉතාම සුවිශේෂී කරුණක් වුණා. විජය නළුවෙක් විදියට ජනතාවගේ ආදරය දිනා ගනිද්දී, ඇයට උපතින්ම ජනතාවගේ ආදරය හිමි වෙලා තිබුණා. විජය කුමාරණතුංග සමඟ විවාහ වීමෙන් පස්සේ ජනතාවගේ ඒ ආදරය දෙගුණ තෙගුණ වුණා. ශ්‍රී ලංකාවේ පළමු සහ එකම විධායක ජනාධිපතිනිය ලෙස දෙවරක්ම කටයුතු කරන්න චන්ද්‍රිකා මැතිනියට අවස්ථාව ලැබුණා.

සිනමාවේ එකකට එකක් වෙනස් ආදර කතා රාශියක රඟපෑව විජයගේ සැබෑ ආදර කතාවත් හරි අපූරු එකක්. අපි අහලා තියෙන විදියට ගොඩක් බාධක වැට කඩුලු මතින් තමයි විජය චන්ද්‍රිකා ආදර කතාව ගලා ගෙන ගිහින් තියෙන්නේ. කොහොම වුණත් අවසානයේ විජය චන්ද්‍රිකා විවාහ වෙනවා. ඒ පවුලට දරුවන් දෙදෙනෙක් එකතු වෙනවා. ඒත් ඒ ආදර කතාවේ සුන්දරම කාලයේදී විජය කුමාරණතුංග ආදර කතාවට විතරක් නෙවෙයි ජීවන ගමනටත් විරාමය තබනවා. විජය කුමාරණතුංගව ඝාතනය කළ පුවත මොහොතකින් රට පුරා පැතිර යනවා. ඔහුට ආදරය කළ රසික රසිකාවියෝ පිළිගන්න බැරි ඒ පුවත අසා හඬා වැලපෙනවා. විජය මැරුණු වෙලාවේ ගොඩ දෙනෙක් ඇඬුවේ තමන්ගේ කෙනෙක් මිය ගියා වගේ.

විජයගේ මරණය සාමාන්‍ය ජනතාවට ඒ විදියට දැනුණා නම් විජයගේ ආදරවන්තියට ඒක කොහොම දැනෙන්න ඇතිද? ඇය ඒ පුවත දැන ගන්නේ කොහොමද? මේ දේවල් ගැන චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය මීට වසර කිහිපයට පෙර රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී තොරතුරු හෙළි කරනවා. විජය කුමාරණතුංගයන් අනුස්මරණය කරන මේ වෙලාවේ ඒ අවස්ථාව නැවත වරක් ආවර්ජනය කරන්න අපි මේ විදියට කටයුතු කරනවා.
එතුමිය මතක් කරන විදියට මුළු රටම කම්පා කළ ඒ ඛේදනීය සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ මහා ශිව රාත්‍රී දිනයකදී.

“එදා අඟහරුවාදා වුණාට නිවාඩු දවසක්. මහා ශිව රාත්‍රී දිනය. එදා දුව ගෙදර. කොහොමත් ඒ වෙද්දී පුතා ඉස්කෝලේ ගියේ නැහැ. විජය ගෙදර ඉන්න දාට එයා තමයි ළමයි දෙන්නව නාවන්නේ. එයා ළමයි දෙන්නා නාවල පල්ලෙහාට එක්ක ආවම තමයි මම කෑම දෙන්නේ. එදත් විජය ඒ විදියට දෙන්නව නාවලා දුවට ඉස්කෝලේ යන්නත් අන්දන්න හැදුවා. බාගෙට අන්දවද්දී තමයි ඒක නිවාඩු දවසක් කියලා විජයට මතක් වුණේ. අද ඉස්කෝලේ නෑනේ අන්දන්නෙ මොකදට කියලා එයා ඊට පස්සේ මගෙන් ඇහුවා. ඊට පස්සේ උදේ 7.30ට විතර එයා ගෙදරින් ගියා හලාවත රැස්වීමකට. ඒක ඉවර වෙලා එද්දී දවස් 12.30ට විතර ඇති. ඒ වෙලාවෙත් මම ගෙදර.”

විජය කුමාරණතුංගයන්ගේ ඉරණම විසඳූ ඒ තීරණාත්මක මොහොත එළැඹී ඇත්තේ ඉන් අනතුරුවය. ඒ සිදුවීමට දින කිහිපයකට පෙර සිට සිදුවූ අහඹු සිදුවීමක් ගැන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනියගේ මතකයේ රැඳී ඇත්තේ මේ ලෙසටය.

“එදාට දවස් ගානකට කලින් ඉඳන් හරි අහඹු දෙයක් සිද්ධ වුණා. ඒ කාලේ අපිට ඇමෙරිකන් තානාපති කාර්යාලයත් එක්ක කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. නමුත් ඇමෙරිකන් තානාපති කාර්යාලයේ කෙනෙක් ඒ දවස්වල දිගටම විජයට කෝල් කළා. ඒ පුද්ගලයා සී. අයි. ඒ. නියෝජිතයෙක් කියලා දැන් හැමෝම දන්නවා. හැබැයි එයා ඒ එක වෙලාවකවත් මාත් එක්ක වැඩිය කතා කළේ නැහැ. විජය නැහැ කිව්වම එයා ෆෝන් එක තියෙනවා. සාමාන්‍යයෙන් ඒ දවස්වල ඕනෑම කෙනෙක් ඕනෑම දේකට අපි දෙන්නටම ආරාධනා කරනවා. ඒත් එයා හරි අහඹු විදියට එදා දවල් කෑමට විජයට විතරක් ආරාධනා කෙරුවා. විජය ඒ ආරාධනාව පිළිඅරගෙන තිබුණේ. හලාවත ඉඳන් ආව විජය ඉක්මනට ඇඳුම් මාරු කරගෙන ඒ වෙනුවෙන් යන්න තමයි සූදානම් වුණේ. විජය ලැහැස්ති වෙලා පල්ලෙහාට එද්දී මාත් කොහෙ හරි යන්න ලැහැස්ති වෙලා අපේ ලේකම්තුමිය එක්ක තරප්පු පෙළ ළඟ කතාබහක නිරත වෙලා හිටියේ.”
ජීවිතයේ සිද්ධ වෙන සමහර දේවල් හරිම පුදුමාකාරයි. කවුරුවත් මැරෙන මොහොත හරියට කියන්න කාටවත් බැහැ. ඒත් ඒක අපේ හිතට දැනෙනවද? විජයගේ කතාවටත් ඒක අදාළයි. ඒක චන්ද්‍රිකාගේ වචනවලින්ම කියනවා නම් මෙහෙමයි.

“විජය යන්න ලැහැස්ති වෙලා හිටියත් ඒ වෙලාවේ ගෙදරට ආව කෙනෙක් හින්දා ඒ ගමන පොඞ්ඩක් පරක්කු වුණා. ඒ දවස්වල ඒ වගේ අපේ ආධාරකරුවෝ බොහොමයක් අපේ ගෙදරට එනවා. උපාලි කියලා අත්තනගල්ලේ අපේ ප්‍රබල ආධාරකරුවෙක් තමයි එහෙම ආවේ. විජය ඒ තරුණයාට විදේශීය නැවක රස්සාවක් අරන් දීල තිබුණා. ඒකට ස්තුති කරන්න සහ ඒ රස්සාවට පිටත් වෙන බව කියන්න තමයි ඒ තරුණයා ඇවිත් තිබුණේ. ඒ තරුණය විජයට බුලත් දීල තමන් ආ කාරණාව කියද්දී, ආයේ කවදද ලංකාවට එන්නේ කියලා විජය උපාලිගෙන් ඇහුවා. අවුරුදු දෙක තුනකින් තමයි සර් කියලා උපාලි උත්තර දුන්නා. අයියෝ බං ඒ වෙද්දී අපි මැරිලා වළලපු තැන්වල ගසුත් පැළවෙලා තියෙයි කියලා විජය හිනා වෙවී කිව්වා. ඒක ඒ කතාවේ විහිළුවකට එහා ගිය දෙයක් අපිට ඒ වෙලාවේ දැනුණේ නැහැ. ඊට පස්සේ විජය යන්න ගියා. හැබැයි කවදාවත් නැතුව මං යන්නම් චන්ද්‍රිකා කියලා විජය හිනාවෙලා මට කිව්වා. එයා සාමාන්‍යයෙන් දවසට කිහිප සැරයක් ගෙදරට යනවා එනවා. ඒ එක වෙලාවකවත් එයා එහෙම කියන්නේ නැහැ. ඒත් එදා මං යන්නම් කියලා විජය කිව්වා.”

ඉන් මොහොතකට පස්සේ තමයි ඒ තීරණාත්මක මොහොත එළැඹෙන්නේ. විජයට ආදරය කරන ඕනෑම කෙනකුගේ නෙතට මෙතැනින් එහා කියවද්දී කඳුළක් වැටෙනවා නොඅනුමානයි. ඒ විතරක් නෙවෙයි. තම ස්වාමි පුරුෂයාට පණ මෙන් ආදරය කරන කාන්තාවකට මෙතැනින් එහාට මේ කතාව කියවන්නත් බැරි වෙයි. ඒ කතාව එතරම්ම අනුවේදනීයයි. ඒ තරම්ම ඛේදනීයයි. විජයගේ ආදරවන්තිය ඒ වේදනාත්මක මතකය අවදි කළේ මෙහෙමයි.

“විජය යන්න ගියා. උපාලි එක්ක තව ටිකක් වෙලා කතා කර කර ඉඳලා එයාට උපදෙස් කිහිපයකුත් දීලා මාත් බඩු වගයක් ගේන්න යන්න එළියට බැස්සා. ඒ වෙද්දිත් විජයට ගොඩක් මරණ තර්ජන තිබුණා. ඒ හින්දා අපේ ගෙදර තාප්පය අඩි දහයක් විතර උසට බැඳලා යකඩ ගේට්ටු දාලා තිබුණේ. මගේ කාර් එක තිබුණේ ඇතුළේ. විජයගේ එක එළියේ තිබුණේ. මම එළියට බහිද්දී එක පාරට දඩාං ගාලා ශබ්දයක් ඇහුණා. ඇත්තටම මට ඒ ගැන ලොකුවට මොකුත් හිතුණේ නැහැ. මොකද විජය ගියා කියලා තමයි මං හිතාගෙන හිටියේ. ඒ වෙද්දී විජය ගිහින් විනාඩි දහයකටත් වැඩියි. ඒ හින්දා විජය ගැන මොකුත්ම මට හිතුණේ නැහැ. උත්සව දවසක් හින්දා ඒක රතිඤ්ඤා ශබ්දයක් කියලයි මට හිතුණේ. හැබැයි එක පාරට විජය මහත්තයා කියලා බොහොම සද්දෙට කවුරු හරි කෑ ගැහුවා. ඊළඟට මහත්තයා කියලා තවත් කෙනෙක් කෑ ගැහුවා. අපි ඒ එක්කම එළියට දිව්වා. මාත් එක්ක අපේ ලේකම්තුමියත් දුව ගෙන ආවා. ඒ එක්කම තාත්තී, තාත්තී කියාගෙන දුව අඬාගෙන එළියේ ඉඳන් ඇතුළට දුව ගෙන ආවා. මම එළියට දුවගෙන යද්දී එක්කෙනෙක් බිම වැටිලා ඉන්නවා. ඒ මනුස්සයාට තව කෙනෙක් උඩ පැන පැන වෙඩි තියනවා ඒ තමයි මම දැක්ක චිත්‍රය. ඒත් ඒ විජය කියලා මට ඒ වෙද්දිත් මොහොතකටවත් හිතුණේ නැහැ. කාට හරි වෙඩි තියනවා නේද කියලයි මම එතැනට දිව්වේ. ඇත්තටම දුව තාත්තී කියලා ඇඬුව එකවත් මට ගානක් වුණේ නැහැ. මං හිතුවේ එයා බයට එහෙම කිව්වා කියලයි. මොකද විජය ගිහින් කියලයි මම එතකොටත් හිතාගෙන හිටියේ. කාට හරි වෙඩි තියනවනේ ඒක නවත්තන්න ඕනෑ කියලයි මම දිව්වේ. මම වෙඩි තියෙන පැත්තට යද්දී මිනී මරුවා මගේ පැත්තට හැරුණා. හැරිලා මගෙ ඇඟට තුවක්කුවත් ළං කළා. ඒත් විජය ඇර වෙන කෙනෙක් මරන්න එපා කියලා එයාට උපදෙස් ලැබිලා තියෙන්න ඇති. මං ළඟට කිට්ටු වෙද්දී මිනී මරුවා හැරිලා දිව්වා. මම ගිහින් බලද්දී විජයගේ ඔළුව නැහැ. මුළු ඔළුවම කුඩු පට්ටම් වෙලා හැමතැනම විසිරිලා. විජයගේ ඇඳුමෙන් සහ එයාගේ සෙරෙප්පු දෙකෙන් තමයි ඒ විජය කියලා මම අඳුර ගත්තේ. ඊට පස්සේ මට මොනවා වුණාද කියලා මට මතක නැහැ.” තම ආදරවන්තයා, තම ස්වාමි පුරුෂයා ඒ ආකාරයේ අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වී සිටින ආකාරය දැක්කම ඇති වන හැඟීම මොන වගේ එකක් වෙන්න ඇතිද? ඒක වචනයෙන් විස්තර කරන්න මම දන්නේ නැහැ. ඒ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න කාන්තාවකට මොන තරම් ශක්තියක් තියෙන්න ඕනෑද? සමහර විට චන්ද්‍රිකා මැතිනියට ජනාධිපති ධුරය කරා ගමන් කරන්නත් ඒ ශක්තිය හේතු සාධක වෙන්න ඇති. විජය කුමාරණතුංගයන් මිය ගිය විදිය එතුමිය දැක්ක ආකාරය කලින් විස්තර කළේ. ඒ වෙලාවේ තවත් අනුවේදනීය දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ දේවල් ඇය දැන ගෙන තියෙන්නේ පස්සේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය නිවෙස තුළ සිටිද්දී තාප්පයෙන් එළියේ සිද්ධ වෙලා තියෙන දේ තමයි මේ.

“විජය යන්න ආවට එයාට යන්න හම්බ වෙලා නැහැ. එයාගේ පාක්ෂිකයෙක් ඇවිත් එයත් එක්ක කතා කර කර ඉඳලා තියෙනවා. කොහොම හරි විජයගේ මිනී මරුවෝ ඒක දකින්න ඇති. විජය ගමන පිටත් වුණා නම් පස්සෙන් ගිහින් නාරාහේන්පිට පාලම ළඟ වගේ තැනකදී විජයව ඝාතනය කරන්න ඒ අය හිතා ගෙන ඉන්න ඇති. ඒත් විජය ගෙදරින් පිට නැවතුණු හින්දා ඒ අය එතැනම තමන්ගේ වැඬේ කරන්න හිතන්න ඇති. විජය පාක්ෂිකයොත් එක්ක කතා කර කර ඉන්දැද්දී අපේ දුවත් එතැනට ගිහින් තියෙනවා. දුවගේ අත අල්ලන් ඉඳිද්දී තමයි විජයට වෙඩි තියලා තියෙන්නේ. පළමු වෙඩි පහරවල් දෙකම වැදිලා තියෙන්නේ විජයගේ පිටට. ඒ වෙලාවේ එතැන පිරිමි පස් දෙනෙක් ඉඳලා තියෙනවා. ඒත් ඒ පස් දෙනාම ඒ එක්කම හැංගිලා. වෙඩි පහර කාගෙන විජය ගේ දිහාට දුවන්න හදලා තියෙනවා. ඒත් ඒ එක්කම විජයව වැටිලා. ඊට පස්සේ තමයි මිනී මරුවා විජය ළඟට ඇවිත් ඔළුවට වෙඩි තියලා තියෙන්නේ. විජයගේ පිටට වැදුණු වෙඩි පහර දෙක මාරාන්තික නැහැ කියලා මරණ පරීක්ෂණයේදී ඔප්පු වුණා. කාට හරි වෙඩි තියෙනවා කියලා හිතාගෙන මම සහ මගේ ලේකම්තුමිය බය නැතුව මිනී මරුවා ළඟට දිව්වා වගේ අර පිරිමි පස් දෙනා ක්‍රියාත්මක වුණා නම් මේ කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුණා.”

හිටපු ජනාධිපතිතුමිය ඒ කතාව ආවර්ජනය කරන්නේ එහෙමයි. ඒත් මුළු රටම ආදරය කළ විජයගේ ඉරණම වෙනස් කරන්න කාටවත් හැකියාව ලැබුණේ නැහැ. කොහොම වුණත් පිටට වෙඩි වැදිලා තාප්පයෙන් ඇතුළට යන්න හැදුව විජය බිම ඇද වැටුණු වෙලාවේ ළඟට ඇවිත් වෙඩි තියපු මිනීමරුවට විජයගේ මුහුණ නම් පෙනෙන්න නැතුව ඇති. මොකද රටක් ලෝකයක් වශී කෙරුව විජයගේ මුහුණ දැක්කා නම් මොන තරම් දරුණු මිනී මරුවකුට වුණත් ඒ මුහුණට වෙඩි තියන්න හිත හදා ගන්න බැරි වෙනවා කියලා අපිට විශ්වාසයි.

චන්දන පොන්නම්පෙරුම




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!