BREAKING NEWS
Search

චොකා මල්ලි එළියට දැමූ තීන්දුව නැවත සලකා බලන්න තීරණේ කරයි

1008

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් “චොකා මල්ලි” ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු මිනීමැරුම් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

 

2015 වසරේ ජනාධිපතිවරණ සමයේදී රත්නපුර, කහවත්ත ප්‍රදේශයේදී ශාන්ත දොඩංගොඩ නැමැති පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණය විසින් මෙම විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කර තිබිණි. කෙසේ වෙතත්, 2023 මාර්තු 31 වන දින අභියාචනාධිකරණය විසින් එම තීන්දුව වෙනස් කරමින් ඔවුන්ව සියලු චෝදනාවලින් නිදහස් කරන ලදී.

 

අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව, සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වය විසින් ගොනුකළ මෙම අභියාචන පෙත්සම, ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (01) කැඳවනු ලැබීය. එහිදී මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදුන් අතර, විභාගය සඳහා ලබන වසරේ පෙබරවාරි 13 වන දින නියම කෙරිණි.

 

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, අභියාචනාධිකරණ තීන්දුව නීති විරෝධී බවත්, විනිසුරුවරු ස්වාධීනව කටයුතු කර නොමැති බවත් පෙන්වා දෙමින්, එම තීන්දුව බලරහිත කර මහාධිකරණ දඬුවම තහවුරු කරන ලෙස ඉල්ලා සිටියේය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කිරීම නීත්‍යානුකූල බවට කරුණු දැක්වීය.

වගඋත්තරකාර ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා, මහාධිකරණ තීන්දුව පදනම් වී ඇත්තේ පිළිගත නොහැකි වීඩියෝ සාක්ෂි මත පමණක් බවට තර්ක කළේය.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!