BREAKING NEWS
Search

තාජුඩීන් ඝාතන පරීක්ෂණ ඉවරයක් කරන්න – නාමල් රාජපක්ෂ

2161

 

ගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පුවත නැවතත් කරළියට ඇවිත් තිබෙනවා. මොකද ඒ ගැන කියන්නේ?

ඔව් පරීක්ෂණ කරන්න අවශ්‍යයි.මේ අය හැමදාම කිය කිය ඉන්නේ නැතුව තාජුඩින් ඝාතන පරීක්ෂණ අවසන් කරන්න ඕනෑ. දේශපාලන වාසියක් ගන්න ආණ්ඩුව එය පාවිච්චි කරනවා නම් වැරදියි, නමුත් සත්භාවයෙන් ඒ ගැන හොයනවා නම් ඒක හොඳයි. මම දැක්කා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ ගැන මාධ්‍යයට කරුණු දක්වනවා. ඒ කරුණු දැක්වීම කරන්නේ මාධ්‍යයට. ඇයි උසාවියේ දක්වන්න අවශ්‍ය කරුණු මාධ්‍යයට දක්වන්නේ. ඒක කරන්නේ ආණ්ඩුවේ අවශ්‍යතාවට සහ සන්දර්ශනයට නේ. මේ ආණ්ඩුව විසින් අධිකරණ පද්ධතියට බලපෑම් කරනවා කියලා පාර්ලිමේන්තුවේදි මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ප්‍රකාශ කළා. සංවිධානාත්මක අපරාධයක් වෙලා තිබෙනවා නම් පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක දේශපාලන වාසි ගන්න ගිහිල්ලා පරීක්ෂණ කටයුතු ගැන අපරාධකරුවන්ට දැනුම් දීමක් වගේ කරන්නේ. මේ කරුණු අධිකරණයට වාර්තා කරලා පරීක්ෂණ කටයුතු කරන්නයි අවශ්‍ය වෙන්නේ. මේ අයගේ නොදන්නකමයි මේකෙන් පේන්නේ… පොලීසියත් ආණ්ඩුවේ න්‍යාය පත්‍රයටයි වැඩ කරන්නේ.

දකුණේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පිටුපස පොදු ජන පෙරමුණේ ප්‍රබල පිරිසක් ඉන්නවා කියලත් කියවෙනවා…

එසේ නම් ඒ ගැන පරීක්ෂණ කරලා, කවුද ඉන්නේ කියලා හොයලා එළියට දාන්න අවශ්‍යයි. පොලීසිය කියන්නේ කන්ටේනර්වල කුඩු තිබුණා කියලා. ඒත් නාකොටික් සහ කස්ටම් කියන්නේ නෑ කියලා. ඇත්ත කියන්නේ කවුද? මේවා ප්‍රශ්න නේ…

දකුණේ මත්ද්‍රව්‍ය පිළිබඳ යම් වගකීමක් ඔබතුමාලටත් තිබෙනවා නේද?

මුළු රටේම මත්ද්‍රව්‍ය පිළිබඳ ලොකු ගැටලුවක් තිබෙනවා. ඒ ගැන සියලු දෙනාට වගකීමක් තියෙනවා. ලොකු අභියෝගයක් තියනවා. අපි තරුණ පරපුර වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනය කළා. එතකොට කිවුවා බේබිලාට රගර් ගහන්න, රේස් පදින්නයි කියලා ක්‍රීඩාව ගේන්නේ. මේ නව මත්ද්‍රව්‍ය ප්‍රවාහයත් සමඟ කලාවට ආගමට, දහමට, ක්‍රීඩාවට ළැදි පිරිසක් කරන්න අවශ්‍යයි. ඒ නිසයි අපි ක්‍රීඩා උත්සව ග්‍රාමීය මට්ටමින් ප්‍රවර්ධන කරන්න උත්සාහ කළේ. මේ කිසිම දෙයක් හැදෑරීමක් නැතුව මේ අය කලාවට සංස්කෘතියට නැඹුරු කරනවා වෙනුවට කැබිනට් ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේදී කියනවා ‘ලිංගිකව හැසිරෙන්න පන්දහක් දෙන්නම්!’ කියලා. අපි ප්‍රවර්ධනය කළේ ක්‍රීඩාව; මේ අය ප්‍රවර්ධනය කරන්නේ ලිංගිකව හැසිරෙන්න.

මිද්දෙණිය අයිස් කර්මාන්ශාලාවේ සිදුවීමෙන් ඔබ ඇතුළු පොජපෙ කලබල වුණා නේද?

ඇයි අපි කලබල වෙන්නේ? සම්පත් මනම්පේරි කියන පුද්ගලයා අපේක්ෂකයෝ නවදහසකින් එක් පුද්ගලයෙක්. ඒ ගැන සැල වූ වහා අපි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළා. අපි හිතන්නේ නීතිය අපක්ෂපාතිව ක්‍රියාත්මක වෙයි කියලා. දැන් බැලූ බැල්මට අපට පේනවා මනම්පේරි කියන්නේ මෙහි මැද පුද්ගලයෙක් වගේ… එහෙත් මේ කුඩු තිබුණ කන්ටේනර් එළියට දැම්මේ කවුද? වරායෙන් එළියට දාපු පුද්ගලයා කවුද? ඒ දේවලුත් හොයන්න වෙයි. කවුද ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර බුද්ධි අංශ උපදෙස් දීල තිබියදිත් මේක එළියට දැම්මේ කොහොමද? ලැබ් රිපෝට් ඒකක් තියනවා නම්, ඒ රිපෝට් ඒක හරිද? වැරදිද? ඒ ලැබ් එක කැඩිලා කියනවා නම් අදාළ අමාත්‍යවරයා එය මාස නවයක් යනතුරුත් දැන ගත්තේ නැත්තේ කොහොමද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න අවශ්‍යයි. නුවරඑළිය ප්‍රදේශයේ අයිස් කර්මාන්තශාලාවක් ගැන කියනවා. ඒ ඉඩම කාගෙද? මේ කර්මාන්තශාලාව කරන්නේ කවුද? මේ කාරණා ආණ්ඩුව යටගහලා තියෙනවා. පොහොට්ටුවට සම්බන්ධ වෙච්ච පුද්ගලයා ගැන විතරයි කතා කරන්නේ. ඔහු රඳවා තබාගෙන පරීක්ෂණ කටයුතු කරනවා. අපි කියන්නේ පරීක්ෂණ කරන්න; හොයන්න; මේ සියලු දේවල සුලමුල සොයන්න කියලා තමයි. අපි අහන්නේ ආණ්ඩුව මේවා යටගහන්නේ ඇයි කියලා.

ඔබතුමාලා ආණ්ඩු කරන කාලයේදීත් මේ රටේ මත්ද්‍රව්‍ය පැතිරිලා තිබුණා නේද?

ලෝකයේ මේ වන විට සමස්තයක් වශයෙන් මත්ද්‍රව්‍ය වැඩි වෙලා තියෙනවා. කාලනුරූපීව මේ දේවල් සියල්ල වෙනස් වෙලා. ලෝකයේම විශාල ගැටලුවක් ලෙස පැතිරිලා තියෙනවා. එදා එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ලංකාවේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය කළේ. මහින්ද රාජපක්ෂ යුගයේ නාවික හමුදාව විසින් ඉතා ශක්තිමත්ව මේ ව්‍යාපාරය රටින් තුරන් කරන්න උත්සාහ කළා. 2020 සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලසීමාවේ මේ රටේ මුහුදු මාර්ගයෙන් වැඩිම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්තා. බුද්ධි අංශ වාර්තාවලට අනුව, නාවික හමුදාව විශ්වාස කරමින් අපි පොලීසිය හා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක වුණා. අඩුවෙන්ම මුහුදෙන් අල්ලලා තියෙන්නේ මේ කාලයේදීයි.

අපි ඇත්ත කිවුවා. ඒ අය බොරුව සමා­ජ­ගත කළා. අපි කරන්න බැරි දේ බැහැ කිවුවා. අප කළ යුත්තේ ජන­තා­වට වඩා යහ­පත් දෙයක්. ඒ වෙලාවේ රටේ පොදු මතය වුණේ පොහො­ට්ටුවේ නොවන කෙනෙක් වෙන්න අව­ශ්‍යයි කියන දේ. රටේ තියෙන මත­යට අපි එදා ගරු කළේ.

පොහොට්ටුවෙන් කැඩිලා සිලින්ඩරයට ගිය අය පොහොට්ටුවට එකතු වෙනවා කියන්නේ ඇත්ත ද?

සිලින්ඩරයට පමණක් නොවෙයි, මාලිමාවට සම්බන්ධ වෙච්ච අයත් දැන් එනවා. සමගි ජන බලවේගයට නැවත එනවා. බිම් මට්ටමේ සාමාජිකයන් සියල්ල එකතු වෙමින් සිටිනවා‍.

ඔබ කියනවා පක්ෂය ගොඩනඟන කර්තව්‍යයේ පොහොට්ටුවෙන් කැඩිලා ගිය ඡන්ද ටික සහ ආණ්ඩු පක්ෂය ඇතුළු සියලු පාර්ශ්ව ඔබේ පක්ෂය වටා එකතු වෙන්න උත්සාහ කරනවා කියලා. දැනට එහෙම එකතු වෙලා ඉන්නේ කවුද?

ඉහළ තලයේ නිලධාරීනුත් විශාල ලෙස එකතු වෙමින් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇතැම් නිලධාරීන්, ව්‍යාපාරිකයන් මේ ආණ්ඩුවේ ඉන්නවා. ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුවේ ආර්ථීක ප්‍රතිපත්ති තීන්දු තීරණ ගත්ත අයම තමයි; මේ ආණ්ඩුවේ අද ආර්ථික ප්‍රතිපත්තිවලට උපදෙස් දෙන්නේ. මේකෙ වෙනස කියන්නේ ඒ අය අපේ ළඟ ඉන්න කොට හොරු; නමුත් දැන් නැහැ. මම ඒ නිලධාරීන්ට කිසිම කෙනකුට හොරු කියන්නෙ නැහැ. ජවිපෙ විසින් පාලකයා සහ හිටපු නිලධාරීන් සියල්ල හොරු කරල නේ තිබුණේ. මේ බොරුව තමයි ඒ අය සමාජගත කළේ. මේ ආණ්ඩුවේ ඇතුළේ ඉන්න ජනතා නියෝජිතයනුත් අප සමඟ සාකච්ඡා කරනවා. පාර්ලිමේන්තු‌වේ එකසිය පනස් නව දෙනාගෙන් කණ්ඩායමක් අප සමඟ සාකච්ඡා කරනවා. මාලිමාවේ බොරුව විශ්වාස කරමින් අප ගැන කලකිරී හෝ යූඑන්පී එක සමඟ එකතු වීම නිසා අපෙන් ඉවත් වුණ පිරිස නැවත විශාල වශයෙන් අප සමඟ එකතු වෙනවා.

එජාප සමඟ එකතු වීම ‌ෙඑතිහාසික වරදක් කියලා දැන් හිතෙන්නෙ නැද්ද?

දේශපාලනිකව ‌ෙඑතිහාසික වරදක් තමයි. එහෙත් රටක් ලෙස ආර්ථික වශයෙන් ගත් විට හොඳම විකල්පයට අපි ගියා. සජිත් මහත්තයා ආණ්ඩුව භාර ගත්තා නම් සජබ ආණ්ඩුවක් හැදෙනවා. එහෙම නොවුණා නම් බංග්ලාදේශයේ වගේ අරගලකරුවන්ට දෙනවාද, ව්‍යවස්ථාවට අනුව ජනාධිපති කෙනෙක් පත් කර ගන්නවාද යන කාරණාවයි, මෙතන තිබුණේ. ඒ අනුව අපි හොඳම විකල්පයට ගියා. දේශපාලනිකව ගත් තීන්දුවක් නොවෙයි රටේ දේශපාලනික හෝ ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ රාමුව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගිය ගමනක්.

කොහොම වුණත් ඔබේ පක්ෂයේ බොරුවලට ජනතාව මේ පාර රැවටුණේ නැහැ කියලයි ආණ්ඩු පක්ෂය කියන්නේ…

අපි ඇත්ත කිවුවා. ඒ අය බොරුව සමාජගත කළා. අපි කරන්න බැරි දේ බැහැ කිවුවා. අප කළ යුත්තේ ජනතාවට වඩා යහපත් දෙයක්. ඒ වෙලාවේ රටේ පොදු මතය වුණේ පොහොට්ටුවේ නොවන කෙනෙක් වෙන්න අවශ්‍යයි කියන දේ. රටේ තියෙන මතයටයි අපි එදා ගරු කළේ.

රනිල් මහත්තයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව නැවත පැවැත්වූ සාකච්ඡාවලට ඔබ සහභාගි වුණේ නැත්තේ ඇයි?

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව යම් සංවාදයකට අප සහභාගි වුණා. මේ සිදුවීම්වලින් පසුව සිදු වූ ක්‍රියාදාමයන්ට පොදු පෙරමුණ සහභාගි වුණේ නැහැ. රනිල් මහත්තයා අත්අඩංගුවට ගැනීමට එකඟ නොවන ක්‍රියාදාමයේ අපි හිටියා; උසාවියටත් ගියා. එහෙත් සන්ධානගත වීමක් සිදු වන්නේ නෑ.

පසුගිය දිනක අර්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් උසාවිය පැත්තේ ගියා නේද? ඇයි ඒ?

අර්චුනා මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත් වුණ වෙලාවෙත් මම ගියා. ඒක ලොකු කථිකාවක් ලෙස; පාර්ලිමේන්තුවේ කතා බහක් ඇති වුණා. අපි හිතුවා අර්චුනාගෙන් පාර්ලිමේන්තුවට ඇති බලපෑමත් එක්ක ආණ්ඩුවට අභියෝගයක් නේ. අර්චුනා මන්ත්‍රීවරයාගේ ‌දේශපාලනයයි අපේ දේශපාලනයයි අහසයි පොළොවයි වගේ. ඔහු විපක්ෂයේ දේශපාලන භූමිකාව හොඳින් කරනවා කියලා මට හිතෙනවා. ඒ වගේම උතුරේ ජනතාව වෙනුවෙන් ඔහු පෙනී සිටිනවා. එවැනි වෙලාවකට ඒ වෙනුවෙන් පෙනී සිටින්න මට යුතුකමක් තිබෙනවා.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම ආණ්ඩුවක් ලෙස ගත් හොඳ උත්සාහයක් කියලා ජනතාව කියන්නේ…

ප්‍රායෝගික නැති උත්සාහයක්. එය ප්‍රසිද්ධිය වෙනුවෙන් කරන ලද කාරණාවක්. සමාජයට පේන්න මෙහෙම කළාට ලෝකයේ කොහේ වත් රටක මේ වගේ වෙලා නෑ. සාමාන්‍යයෙන් විධායක ජනාධිපතිවරයකු ගන්නා තීන්දු තීරණ සහ ක්‍රියාදාම නිසා ධුරයෙන් ඉවත් වුණාට පසුව ඔහු ආරක්ෂා කරන්න රටට වගකීමක් තිබෙනවා. එවැනි ජනාධිපතිවරයකුගේ ජීවිතයට හානියක් නොවී ආරක්ෂා කරගැනීමට රටට වගකීමක් තිබෙනවා. යම් කිසි දවසක යම් හානියක් වුව හොත් සමස්ත රටේ ජාතික ආරක්ෂාව, පුරවැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ ලෝකයට යන්නේ වැරදි ප්‍රතිරූපයක්. ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඇති හොඳ නරක නොවෙයි, ඔහු සතුව රාජ්‍ය රහස් තිබෙනවා: රාජ්‍ය පාලනය සම්බන්ධයෙන්. ඒවා ආරක්ෂා කිරීමට පවතින රජයට වගකීමක් තිබෙනවා. මාලදිවයින ඇතුළු ලෝකේ හැම රටකම හිටපු ජනාධිපතිවරුන් ආරක්ෂා කරනවා. මේ ආණ්ඩුව දකිනවා නම් එය එහෙම කරන්න ඕනැ නෑ කියලා. ඔවුන්ට ඕනැ තැනක ජීවත් වෙන්න පුළුවන්. රාජ්‍ය රහස් එළියට ගියත් කමක් නෑ කියලා වගේ අදහසක ඉන්නවද කියලා අපි දන්නෑ. ඇත්ත වශයෙන්ම රටක් පාලනය කරන්න නොදන්නකමයි මෙතැන තියෙන්නේ.

බොහෝ අය කියන්නේ මාලිමාවට කැඩිලා ගියේ පොහොට්ටු ඡන්ද කියලයි…

ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් ඡන්ද වගේම පදනම් ඡන්දත් මේ වෙලාවේ වෙනස් වුණා. මිනිස්සුන්ට ඕනෑ කරලා තිබුණේ වෙනසක්. යම් කිසි දේශපාලන කණ්ඩායමක් ඇවිල්ලා යම් විශාල ප්‍රතිරූපයක් පෙන්නන්න උත්සාහ කළා; බොරුව සමාජගත කළා.

මාලිමාව මේ රටේ නොතිබුණු පක්ෂයක් නොවෙයි. ඒත් ජනතාව ඒ පක්ෂය ගැන විශ්වාසයක් තැබුවා මෙවර…

මාලිමාවට නව මුහුණවරක් ලැබිලා තිබුණෙ නෑ නේ. ජයග්‍රහණය කිරීම සඳහා බටහිර රටවල්, අසල්වැසි රටවල් සහ වෙනත් හේතු නිසා මාලිමාව රීබ්‍රෑන්ඩ් කළා. ඒ රීබ්‍රෑන්ඩ් කළේ විශාල බොරුවක් සමාජගත කරලයි. දැන් ඒ බොරුව ජනතාව තේරුම් අරගෙන ඉන්නේ බොරුවට වැඩි ආයුෂ නැහැ. කියලා තමයි අපි කියන්නේ.

රීබ්‍රෑන්ඩ් වුණා කියලා ඔබ කියන මාලිමාවට ජාත්‍යන්තර සම්බන්ධතා නැහැ කියලා ඡන්දයට කලින් කිවුවා. කෙසේ වුවත් ආණ්ඩුව රටේ ජනතාව වෙනුවෙන් අවංක සේවයක් කරගෙන යනවා නේද?

මොකක්ද රටට කරලා තියෙන්නේ? ජනාධිපතිවරයකු අලුතින් රටක් භාර ගත්තාම විදෙස් රටවලින් ආරාධනා ලැබෙනවා; විදේශ සම්බන්ධතා ගොඩනැඟෙනවා. මම නැහැ කිවුවේ නැහැ. රාජ්‍යයක් ලෙස ගැනෙන සබඳතා වෙනස්. රාජ්‍ය සම්බන්ධතා ගොඩනැඟෙනවා අපි නැහැ කියන්නේ නැහැ. අපි අහන්නේ මොනවද විදෙස් සම්බන්ධතා පාවිච්චි කරමින් කරන්නේ? ජර්මනියට, අමෙරිකාවට, ජපානයට, ඉන්දියාවට, චීනයට ගිහිල්ලා කිව්වා ලොකුම ආයෝජකයන් ගේනවා කියලා… කෝ? මුකුත් නැහැ! ගිවිසුම් අත්සන් කළා කියනවා; ඉන්දියාවේ ගිවිසුම් පෙන්වන්න බැහැ කිවුවා. රටේ නායකයා විදෙස් රටවලට ගියා කියලා ගැටලුවක් නැහැ. අඩුම තරමින් මොනවද එළඹුණ ගිවිසුම් කියලා ජනතාව දැනුම්වත් වෙලා නැහැ. මේ ආණ්ඩුව වසර පහ යනවා. අතරමඟදී දේශපාලන වෙනසක් වෙයිද කියලා අපි කියන්න දන්නෙ නැහැ. අතරමඟදි මොකක් වෙයිද කියලා, ජනතාව මේ අය සමඟ ඉඳීද නැද්ද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා.

සිලි­න්ඩ­ර­යට පම­ණක් නොවෙයි, මාලි­මා­වට සම්බන්ධ වෙච්ච අයත් දැන් එනවා. සමගි ජන බල­වේ­ග­යට නැවත එනවා. බිම් ම­ට්ටමේ සාමා­ජි­ක­යන් සියල්ල එකතු වෙමින් සිටි­නවා‍.

මහින්ද මහත්තයා රටට කරපු දේවල් ගැන කියමින්, පොජපෙට හැමදාම ඉදිරියට යන්න බැහැ නේද?

අප එහෙම කරන්නේ නැහැ. ඉදිරියට යන්නේ නූතනත්වයත් සහ කාලානුරූපි බව සමඟ. අපි අලුතින් ප්‍රතිපත්ති හදන්න කටයුතු කරමින් යනවා. 2025 ප්‍රතිපත්ති 2030ට ගැළපෙන්නෙ නැහැ. නව ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මේ වන විට පර්යේෂණ කරමින් යනවා.

ඔබට හිතෙන්නේ නැද්ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වගේ දේශපාලනිකව පරිණතභාවයට පැමිණ ජනාධිපතිවරණයට තරග කළා නම් හොඳයි කියලා?

ඒක ජනතා තීන්දුවක්. ලෝකයේ බොහෝ රටවල මේ පරිණත දේ බලන්නේ අද වයස කියන සාධකයෙන් නොවෙයි. අද දේශපාලනික දැනුම ඇති ඉතා ළාබාල ජනාධිපතිවරුන් පිරිසක් සාර්ථකව රටවල් පාලනය කරනවා; අවුරුදු 30-40 නායකයන් බිහි වනවා. නවීකරණය සමඟ අප යන්නේ කොහොමද නවීකරණය සහ දේශපාලන පරිඥානයයි වැදගත් වෙන්නේ. අපේ පක්ෂය තීන්දු කරලා තියෙන්නේ තරුණ නායකත්වයට ඉඩ දිය යුතුයි කියලා. මේ ආණ්ඩුව මහාචාර්ය ආචාර්ය කියලා අවුරුදු ගණනක් අපේ රටේ හොරකම් ඔක්කොම දන්නවා කියලනේ බලයට ආවේ. හැබැයි රට හොඳ මාවතක ගිහින් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තාත් තරුණ කාලයේ ආවේ. රටේ ආර්ථීකය දැවෙමින් තිබුණු ත්‍රස්තවාදය සංවර්ධනය සියල්ල හදලා රට හොඳම තැනකට ගෙනාවා. ඉතිහාසයේ හොඳම කාලය හැදුවේ එතුමාගේ ධුරකාලයේදී. මම හිතන්නේ ඉදිරි කාලසීමාව තුළ රටේ වගකීම් භාර දෙන්නේ කාටද කියන කාරණාව ජනතාව තීන්දු කරයි.

බලයට ආවොත් ඔබත් රට හදන්න නැවත සූදානම් වන්නේ රාජපක්ෂවරුන්ගේ පවුල් පාලනය යටතේමද? පවුල් දේශපාලනය ජනතාව ඉවර කළා කියලා හිතෙන්නේ නැද්ද?

පවුල් දේශපාලනය කියලා හඳුන්වන්නේ මොකක්ද? ප්‍රජාතන්ත්‍රවාදි රාමුවක් ඇතුළේ කිහිප දෙනකු ඡන්දයෙන් පත් වෙන එකද? එහෙම බැලුවොත් නෝනලා මහත්තයලා, තාත්තලා පුතාලත් ඉන්නේ? මේ ආණ්ඩුවෙත් ඉන්නවා. එය පවුල් දේශපාලනය නොවෙයිද? ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ ඡන්දෙන් පත් වෙන්න ඕනෑම කෙනකුට හැකියි. ප්‍රශ්නය දේශපාලනයද? රාජපක්ෂවරුන්ද? කියලා ගැටලුවක් තිබෙනවා. ලෝකයේ කෙනඩි පවුල, බුෂ් පවුල, ටොනි බ්ලෙයාර් පවුල, ගාන්ධි පවුල ගත්තත් එහෙම තමයි. අපේ ලංකා ඉතිහාසයෙත් එහෙමයි. අද ලෝකයෙත් මේ දේවල් වෙනස් වෙලා.

රට බංකොලොත් කළ රාජපක්ෂවරුන්ට ඇයි ඡන්දය දෙන්නේ කියලා අදහසක් සමාජයේ තිබෙනවා…

මිනිසුන්ට අප කෙරේ යළිත් විශ්වාසය ඇති වෙන්න අවශ්‍යයි. අපට ඡන්දෙ දෙන්න අවශ්‍ය නෑ කියලා මේ ආණ්ඩුව හදපු කතාව නේ. ඇත්තටම අපට චෝදනා කරන අයට ජීවත් වෙන්න පරිසරය ආර්ථිකය හැදුවේ කවුද? ඒ වගේම අපට චෝදනා කරන්න පාවිච්චි කරන මොබයිල් ෆෝන් ඒක පවා මිල දී ගන්න ආර්ථිකය, සමාජ වටපිටාව හැදුණේ මහින්ද රාජපක්ෂ යුගයේ. කතා කරන හැම කෙනාම දැන් මේ ආණ්ඩුව ගැන කලකිරිලා ඉන්නේ. අපි පක්ෂයක් ලෙස නවීකරණය වෙලා ඉදිරියට එන්න අවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් සූදානම් වෙමින් ඉන්නවා. මඩ අවලාද නඟමින් අපි අපේ ගමන යන්නේ නැහැ. එයයි අපේ වෙනස.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *