ප්‍රසිද්ධ දේපළ වෙළඳාම් සමාගමක් වන Confident Group හි සභාපති සී.ජේ. රෝයි බංගලෝරයේ ලැන්ග්ෆර්ඩ් ටවුන් හි පිහිටි ඔහුගේ කාර්යාල පරිශ්‍රයේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සෝදිසි කිරීම් සහ අත්පත් කර ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් තිබියදී සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.
කේරළ කලාපීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් පසුගිය 28 වැනිදා සිට Confident Group ආයතනයට එරෙහිව මෙම වැටලීම් ආරම්භ කර තිබිණ.
මූලික විමර්ශනවලට අනුව, එදින පස්වරුවේ ආදායම් බදු නිලධාරීන් විසින් රෝයිගෙන් ප්‍රශ්න කිරීම් සිදු කර ඇති බව සඳහන් වේ. ඉන් අනතුරුව, තම මවට දුරකථන ඇමතුමක් ලබා ගැනීමට ඔහු අවසර ඉල්ලා තිබිණ. එහෙත් මිනිත්තු කිහිපයකට පසු, ඔහු සියදිවි හානි කරගෙන සිටියදී සොයාගෙන තිබේ.
මියයන විට රෝයි 57 හැවිරිදි වියේ පසුවූ අතර, මෙම සිදුවීම සිදුවූයේ කේරළය, කර්ණාටක සහ ඩුබායි යන රටවල ව්‍යාප්ත වී ඇති ඔහුගේ සමාගමේ 20 වැනි සංවත්සරය යෙදී තිබූ දිනයේදීමය.
රෝයි ගේ සොහොයුරා වන සී.ජේ. බාබු ප්‍රකාශ කර ඇත්තේ, ව්‍යාපාරයේ කිසිදු ගැටලුවක් නොතිබූ බවත්, ආදායම් බදු වැටලීම් හේතුවෙන් ඇති වූ පීඩනය ඔහු මෙවැනි දැඩි තීරණයක් ගැනීමට පෙළඹවූවා විය හැකි බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුව මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
ඔහුගේ මෙම හදිසි සහ ඛේදනීය මරණය ලොව පුරා දැඩි අවධානයට ලක්ව තිබේ.
චිරියන්කණ්ඩත් ජෝසප් රෝයි ලෙස කොචි හි උපත ලැබූ මොහු දේපළ වෙළඳාම්, ආගන්තුක සත්කාර, අධ්‍යාපනය, ගුවන් සේවා සහ විනෝදාස්වාදය යන අංශ ඔස්සේ රටවල් කිහිපයක තම ව්‍යාපාරික බලය ව්‍යාප්ත කර තිබිණ.
විශේෂයෙන් ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල ඔහුගේ ව්‍යාපාර ක්‍රියාත්මක වූ අතර, බංගලෝරයේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ඔහු ඉතා ප්‍රසිද්ධ නාමයකි. ව්‍යාපාරිකයෙකුට අමතරව ඔහු කර්ණාටක සහ කේරළ ප්‍රාන්ත සඳහා ස්ලෝවැක් ජනරජයේ ගෞරවනීය කොන්සල්වරයා ලෙස ද කටයුතු කළේය.
Confident Group ආයතනය විසින් නේවාසික සංකීර්ණවල සිට විශාල නගර ව්‍යාපෘති දක්වා ව්‍යාපෘති 150 කට වඩා අවසන් කර තිබේ.
බැංගලෝරය අසල පිහිටි රුපියල් කෝටි 3,000 ක වටිනාකමකින් යුත් ‘Zion Hills Golf County’ සුඛෝපභෝගී ව්‍යාපෘතිය ඔහුගේ ප්‍රධාන ජයග්‍රහණයක් ලෙස සැලකේ. බොහෝ දේපළ වෙළඳාම් සමාගම් ණය බරින් මිරිකී සිටියද, තම සමාගම ණය රහිත ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඔහු නිතරම අවධාරණය කර තිබු ප්‍රකාශයකි.
බංගලෝරයේ හැදී වැඩුණු රෝයි, කුඩා කල සිටම තම පවුලේ දේපළ ගනුදෙනු දෙස බලා ව්‍යාපාරික දැනුම ලබා ගත් බව සඳහන්වේ. 2000 දශකයේ මුල් භාගයේදී එවකට හුදෙකලා ප්‍රදේශයක් ලෙස සැලකූ සර්ජාපූර් පාරේ විශාල ඉඩම් ප්‍රමාණයක් මිලදී ගැනීමට ඔහු ගත් තීරණය පසුව අතිශය ලාභදායී විය.
1991 දී ආරම්භ කරන ලද ඔහුගේ සමාගම, 2025 මාර්තු 31 වන විට රුපියල් කෝටි 2,000 කට වඩා වැඩි වත්කම් ප්‍රමාණයක් හිමිකරගෙන තිබූ අතර රටවල් තුනක ව්‍යාපෘති 160 ක් පමණ නිම කර තිබිණ.

ඔහු අති සුඛෝපභෝගී ජීවිතයකට ඇලුම් කළ අයෙකු වූ අතර, ඔහුගේ වාහන එකතුවෙහි Rolls-Royce වාහන 12ක්, Bentley, Mercedes-Benz, Lamborghini සහ Bugatti Veyron වැනි ඉහළ පෙළේ මෝටර් රථ විශාල ප්‍රමාණයක් ඇතුළත්වේ. මෙම එක් වාහනයක වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 10-11 සීමාවේ පැවති බව කියැවේ. මීට අමතරව, ඔහුට Gulfstream G650 පෞද්ගලික ජෙට් යානයක්, මුම්බායි, ඩුබායි සහ ලොස් ඇන්ජලීස් වැනි නගරවල සුඛෝපභෝගී නිවාස සහ විශාල කලා නිර්මාණ එකතුවක් ද තිබූ බව විදෙස් වාර්තාවල සඳහන්වේ.
නිල වශයෙන් තහවුරු කර නොමැති වුවද, සී.ජේ. රෝයිගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියනය ඉක්මවන බව ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ මතයයි.







