BREAKING NEWS
Search

වදුරෙකුගේ ක්‍රියාවක් නිසා සිදුවූ බවට කියන විදුලි බිඳවැටීම ගැන සැකයක්..? – ස්වාධීන පරීක්ෂණයක් !

464

පසුගිය පෙබරවාරි මස 9 වන දින ජාතික විදුලි පද්ධතියට වඳුරෙකු ඇතුළුවීම හේතුවෙන් රටපුරා විදුලිය බිඳ වැටුණු බවට වාර්තා වූ සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) තීරණය කර ඇත. ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) විසින් මෙම සිදුවීම පිළිබඳව ලබාදුන් වාර්තාව සෑහීමකට පත් විය නොහැකි බැවින් මෙම ස්වාධීන විමර්ශනය ආරම්භ කිරීමට තීරණය කළ බව එම කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා ප්‍රකාශ කළේය.

මෙම විමර්ශනය ආරම්භ කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ හේරත් මහතා, ලංවිම වෙතින් අදාළ මූලික වාර්තාව ලැබීමේ ප්‍රමාදය සහ පසුගිය කාලසීමාවේ විදුලි ගාස්තු සංශෝධනයට අදාළ මහජන උපදේශන ක්‍රියාවලිය සඳහා කොමිෂන් සභාවේ අවධානය යොමු වී තිබීම එයට හේතු වූ බව පැවසීය.

එළඹෙන අගෝස්තු මස 5 වන දින පැවැත්වෙන මෙම විමර්ශනය සඳහා මහජන උපදේශනයක් ද කැඳවා ඇති අතර, ඒ සඳහා කරුණු සහිතව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට මහජනතාවට අවස්ථාව සලසා දී තිබේ. මේ වන විටත් ලංවිම වත්මන් හා විශ්‍රාමික සේවකයින් මෙන්ම සූර්ය බලශක්ති සංගම් නියෝජිතයින් ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකුට ආරාධනා කර ඇති අතර, තවත් කැමති අයට 0772943193 යන දුරකථන අංකය ඇමතීමෙන් වේලාවක් වෙන් කරවා ගෙන සහභාගී විය හැකිය.

මෙම මහජන සාක්ෂි විභාගයෙන් අනතුරුව කොමිෂන් සභාව විසින් නිගමනයකට එළඹ, අනාගතයේදී මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිත බවද සන්නිවේදන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!