කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ඔහු රඳවා සිටින දැඩි සත්කාර ඒකකය වෙත ජේලර්වරුන් දෙදෙනෙකු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා ඇති අතර, ඉන් නිලධාරීන් සිව් දෙනෙකු ගිනි අවි සහිතව රාජකාරියේ නිරත වන බව බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. ඊට අමතරව, රෝහල අවට ප්‍රදේශය ආවරණය වන පරිදි විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා ඇති බව පොලිස් මූලස්ථානය තහවුරු කරයි.
බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු ඒ මහතා, වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා වෛද්‍ය නිර්දේශ මත පසුගිය 23 වනදා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර එවන ලදී. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ වහාම නැවත වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන යාමට නියමිත බව බන්ධනාගාර බලධාරියෙකු සඳහන් කළේය.
දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසීම සඳහා රෝහල වෙත පැමිණෙමින් සිටින බැවින්, ආරක්ෂක හේතූන් මත එම පැමිණීම් සීමා කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ. අනිද්දා (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රනිල් වික්‍රමසිංහ මහතා, එදිනට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවත ඉදිරිපත් කිරීමට නියමිතය.
source – lanka c news