BREAKING NEWS
Search

තාත්තා නුගේගොඩ රැලියට එන්නේ නෑ ඒත් ආශිර්වාදය තිබෙනවා – නාමල්

230

පක්ෂ කිහිපයක් එක්ව නුගේගොඩ ප්‍රදේශයේ සංවිධානය කර ඇති විරෝධතා රැලිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවන නමුත්, එම උත්සාහයට එතුමාගේ පූර්ණ ආශිර්වාදය හිමිවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මෙම අදහස් පළ කළේ කසාගල රජමහා විහාරයේ පැවති වාර්ෂික පෙරහර මංගල්‍යයට සහභාගී වීමෙන් අනතුරුවය.

විහාරස්ථානයට පැමිණි නාමල් රාජපක්ෂ මහතා, තිස්සමහාරාම රජමහා විහාරාධිපති දේවාලේගම ධම්මසේන නාහිමියන් සහ කසාගල රජමහා විහාරාධිපති තල පෝරුවේ ඉන්ද්‍රසිරි සුමන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, සිය පියාණන් වන මහින්ද රාජපක්ෂ මහතා වීථි සටන්වලදී පෙරමුණ ගත් නායකයෙකු බවත්, තමන්ට ද එම ආභාසය ලැබී ඇති බවත් කියා සිටියේය.

 

වත්මන් ආණ්ඩුව මැතිවරණ සමයේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරවා ගැනීම වෙනුවෙන් අඛණ්ඩව සටන් කරන බවද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය. ආණ්ඩුව එම මැතිවරණ පොරොන්දු කඩ කරමින් ජනතාව දැඩි පීඩාවකට පත් කර ඇතැයි ද හෙතෙම චෝදනා කළේය.

රටේ උග්‍ර වී ඇති මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬලීම සඳහා ආණ්ඩුවට කිසිදු නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති බව පැවසූ මන්ත්‍රීවරයා, එම තත්ත්වය හුදෙක් විපක්ෂය මර්දනය කිරීමේ මුවාවක් ලෙස භාවිත කරමින් සිටින බවට ද චෝදනා නැගීය. කෙසේ වෙතත්, රටේ ව්‍යාප්ත වී ඇති මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා තමන් නියෝජනය කරන පාර්ශ්වයට පැහැදිලි වැඩපිළිවෙළක් මෙන්ම දැඩි වුවමනාවක් ද පවතින බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා ද එක්ව සිටියේය.
නුගේගොඩ රැලියට දැනට කිසිදු ‍හිටපු ජනපතිවරයෙකු සහභාගී නොවන බව දන්වා ඇති අතර සජබය මෙන්ම විමල් පිලද සර්ව ජන බලයද මෙය වර්ජනය කරන බව දන්වා ඇත.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!