රටට අවශ්‍ය ඛනිජ තෙල් මිල දී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියට අත්තනෝමතිකව මැදිහත් වෙමින් රුපියල් මිලියන 800ක පාඩුවක් සිදු කළ බවට වන විමර්ශනයකට අදාළව හිටපු බලශක්ති ඇමැති අර්ජුන රණතුංග මහතා සැකකරුවෙකු ලෙස නම් කරන බවත් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ ඊයේ (15) පැවැසීය.
මෙම සිද්ධියේ පළමු සැකකරු ලෙස නම් කරමින් අත්අඩංගුවට ගත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම මේ බව කියා සිටියේය.
මෙම සිද්ධියේ දෙවන සැකකරු ලෙස හිටපු ඇමැති අර්ජුන රණතුංග මහතා නම් කරන බවත් මේ වනවිට ඔහු විදේශගතව සිටින බැවින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත් කොමිසම වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේය. මේ විමර්ශනයට අදාළව ඊයේ (15) අත්අඩංගුවට ගත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (15) නියෝග කළේය.
2017 – 2018 වර්ෂ සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඉන්ධන මිල දී ගැනීමට නියමිතව තිබූ දිගුකාලීන ටෙන්ඩර් 03ක් අවලංගුකොට, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීමට සිදුවීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදු කිරීමේ දූෂණ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් නැති බවත් සාක්ෂි කිහිපයක් සටහන් කර ගැනීමට ඇති බවත් මෙහි දී අල්ලස් කොමිසම කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහැරියහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට හැකියාව ඇති බවත් දැනුම් දුන්නේය.
සැකකාර ධම්මික රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා ප්‍රමුඛ නීතිඥ මඬුල්ල මෙහිදී කියා සිටියේ තම සේවාදායකයාට, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට හැකියාවක් නැති බවයි. අල්ලස් කොමිසමේ විමර්ශනවලට සිය සේවාදායකයා සහාය දැක්වූ බවත් මේ වන විට විමර්ශන අවසන් බවත් කී නීතිඥ මඬුල්ල ඕනෑම කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙසද ඉල්ලීමක් කළේය.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නියෝග කළ අතර සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් අවවාද කළේය. ද්විත්ව පුරවැසියකු වූ සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරයා ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙසටද නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව වැඩිදුර වාර්තා සඳහා ලබන මාර්තු 13 තෙක් කල් තැබිණි.
සුභාෂිණී සේනානායක
Source – Dinamina







