BREAKING NEWS
Search

පොලිසි‍යට බෝතලෙන් ගැසූ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට – උසාවි පාර බ්ලොක් කර සෙනග ගෙන්නූ 20 ක් CID හඳුනාගනී

2249

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල ඉකුත් 26 වන දා පැවති විරෝධතාවයක් අතරතුර, රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් කළුතර නගරයේදී ඊයේ (27) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර

ඔහු වැඩිදුර විමර්ශන සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. නාගොඩ, කළුතර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි මෙම පුද්ගලයා, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ පහරදී තුවාල සිදුකිරීම යන චෝදනා යටතේ අද (28) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම විරෝධතාවය සංවිධානය කිරීම සහ ඊට පුද්ගලයින් කැඳවීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලනඥයින් 20 දෙනෙකුට අධික පිරිසක් බුද්ධි අංශ මගින් හඳුනාගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩු විභාගයක් පැවති දිනයේ අධිකරණ කටයුතුවලට බලපෑම් කිරීමේ අරමුණින් මෙම පිරිස සංවිධානාත්මකව අධිකරණ පරිශ්‍රය වෙත ගෙන්වා ඇති බවට බුද්ධි අංශ පවසයි.

හඳුනාගත් දේශපාලනඥයින් අතර හිටපු අමාත්‍යවරුන් මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සිටින බව සඳහන් වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද ආරම්භ කර තිබේ. ඒ, කොටුව මහේස්ත්‍රාත්වරිය විසින් ලබාදුන් නියෝගයකට අනුව ය. විරෝධතාවය සඳහා කොළඹ හා අවට ප්‍රදේශවලින් බස් රථ යොදා ගනිමින් පුද්ගලයින් රැගෙන ආ ආකාරය සහ ඒ සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වූවන් පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මකයි. විමර්ශන සඳහා බුද්ධි අංශ විසින් ලබාගත් වීඩියෝ සහ ඡායාරූප දර්ශන මෙන්ම, විවිධ මාධ්‍ය ඔස්සේ විරෝධතාවයට ජනතාව කැඳවමින් ප්‍රකාශ සිදුකළ පුද්ගලයින් පිළිබඳව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධානය යොමුකර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් මෙම විමර්ශන මෙහෙයවයි. මීට අමතරව, හිටපු ජනාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ ඉකුත් 22 වන දා අධිකරණ ශාලාව තුළ සිදුවීම් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහල පුද්ගලයින් හඳුනාගැනීම සඳහා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තාක්ෂණික මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වේ.

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *