BREAKING NEWS
Search

රනිල්ගේ නඩුව බලන්න අධිකරණයට යාළුවො ඇවිත්…

1334

රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවකට අද (29) දින පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේය. පොදු දේපළ පනත යටතේ ඔහුට එරෙහිව මෙම චෝදනා ඉදිරිපත් කර ඇති අතර, ජනාධිපති ධුරය දරණ සමයේ සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට යාමේදී මෙම මුදල් අවභාවිතය සිදුකර ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ.

 

අද දින නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි නියෝගයක් නිකුත් කළේය. හිටපු ජනාධිපතිවරයාට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිටී නම් ඔවුන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා එහිදී නියම කළේය.

මීට අමතරව, ඉකුත් දිනවල අධිකරණ පරිශ්‍රය ආශ්‍රිතව සිදුවූ ඇතැම් සිදුවීම් මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්දැයි පරීක්ෂණයක් පවත්වන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. එම සිදුවීම්වලට වගකිව යුතු පුද්ගලයින් කවුරුන්ද සහ ඔවුන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මීළඟ නඩු දිනයේදී අධිකරණය දැනුවත් කරන ලෙසද නියම කෙරිණි. අනතුරුව නඩුව ලබන වසරේ ජනවාරි මස 28 වන දින යළි කැඳවීමට තීරණය විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයා පසුගිය අගෝස්තු මස 22 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර, එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

පසුව, හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලූ එවකට සිටි කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය, රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහුව මුදා හැරීමට නියෝග කළාය. නඩුව අද (29) දින නැවත කැඳවීමට නියම කර තිබුණේ එම අවස්ථාවේදීය. මෙම අවස්ථාව සඳහා දේශපාලන ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ද අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටිනු දක්නට ලැබිණි.
නඩුව ලබන ජනවාරි 28 දක්වා කල් දමන ලදි.

gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *