BREAKING NEWS
Search

කිරින්දේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 345 ගැන සම්පූර්ණ විස්තරේ..

456

ගොඩබිමට ප්‍රවාහනය කරමින් තිබූ විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට අද (12) අලුයම හැකිවිය.

ඒ, කිරින්ද අඳගලවැල්ල වෙරළ තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් කෝටි 394ක් බව බලධාරීන් පවසයි.

තිස්සමහාරාම ප්‍රදේශයට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය රැගෙන එන බවට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව මෙම තොරතුර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට දැනුම් දී දකුණු පළාතේ පොලිස් කණ්ඩායමක්ද සමගින් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය අද අලුයම කිරින්ද අඳගලවැල්ල වෙරළ තීරය ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

ඒ අනුව පොලීසියට දැනගැනීමට ලැබී ඇත්තේ ගැඹුරු මුහුදේ සිට බහුදින ධීවර යාත්‍රාවකින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් කුඩා බෝට්ටුවකට මාරු කර ඇති බවටය.

කුඩා බෝට්ටුවෙන් වෙරළ දෙසට රැගෙන ආ මත්ද්‍රව්‍ය කඹයක් ආධාරයෙන් මුහුදේ පාවෙන සේ දමා ගොස් තිබූ අතර ඒවා රැගෙන ඒමට ගිය සැකකරුවන් 7දෙනෙකු වෙරළ තීරයේදී පොලිස් අත්අඩංගුවට පත්වුණි.

මුහුදේ පාවෙමින් තිබූ විෂ මත්ද්‍රව්‍ය ඇතුළත් මලු 19ක්ද මෙහිදී ගොඩබිමට ගෙනැවිත් කිරින්ද පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබීය.

කිලෝග්‍රෑම් 345ක් පමණ බරකින් යුතු මෙම මත්ද්‍රව්‍ය තොගය හෙරොයින් බවට සැකකෙරේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා කිරින්ද පොලිස් ස්ථානය ආ අතර පසුව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනුණි.

ඒ සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් බව කියන රථවාහන 6ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර ප්‍රදේශවාසියෙකු පැවසුවේ අදාළ වෙරළ තීරය ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම කලක සිට සිදුවූ බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!