පසුගියදා අයිටීවී නාලිකාව මගින් විශාශය කළ “ආදරේ තාත්තා” වැඩසටහනට ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකගේ දියණිය මංජුලා රත්නායක මහත්මිය පැමිණ සිය පියා ගැන අදහස් දක්වා තිබුණි.පහත පළවන්නේ එම වැඩසටහනින් උපුටාගත් කොටසක සටහනයි.
මංජුලා මහත්මිය, තාත්තා ගැන ඔබට කුඩා කාලේ ඉඳන් මතක් කළාම, මුලින්ම මතක් වෙන මතකය මොකක්ද?
තාත්තා ගැන කුඩාම කාලයේ ඉඳන් ඇත්තටම ගොඩක් දේවල් මතක් වෙනවා. අපි හතරදෙනෙක් පවුලේ. ඉතින් තාත්තා අම්මා දෙන්නත් එක්ක අපිව බලා කියාගත්තු හැටි මතක් වෙනවා. තාත්තා ඇත්තටම අපිට ගොඩක් දකින්න හිටියේ නැති කෙනෙක්. තාත්තා ප්‍රසංගවලට යන කාලය තමයි ඉතින් ඔය 70, 60 දශක, ඒ කාලේ. ඇත්තටම තාත්තා, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තාත්තා. ඇත්තටම එයා අපිට පොඩි කාලේ ඉඳලා, පස්සේ අපි ඉස්කෝලේ යනවා, ඊට පස්සේ අපි රැකියාවට යනවා, විවාහ වෙනවා, ඔය හැම තැනකදීම තාත්තා, තාත්තා හැටියට හිටපු කෙනෙක්. ඒ කියන්නේ කවදාවත් අපිව අතඇරලා නෑ.
විවාහ වුණත්, අපේ දරුවන්ටත් සහයෝගය දුන්නු තාත්තා කෙනෙක්. ඉතින් පොඩි කාලේ ඇත්තටම හරි විනෝදයි. ගෙදර තාත්තා ඉන්න දවසට, තාත්තත් බලන් ඉන්නවා ඉතින් අපිත් එක්ක එකට කෑම ටික කන්න. එහෙම ඉතින් ඒ වගේ හරි සුන්දර කාලයක් ගෙවුණා.
වික්ටර් රත්නායකයන් නිවසේදීත්, සන්සුන් කෙනෙක්ද නිවසේදි තිබුණ අවධානය කුමක්ද?
ඔව්, තාත්තා ඇත්තටම අපිත් එක්ක ඉන්නකොට… ඉතින් තාත්තා… අපි වැරදි කළොත් නම් ටිකක් නපුරුයි. නමුත් අපිත් එක්ක දැන් කතා කරනකොට, මොනවා හරි එහෙම ඉන්නකොට හරි විනෝදයි. හැබැයි ඉතින්, තාත්තා ගොඩක් වෙලාවට නිර්මාණවල නියැලුණු නිසා අපිත් එක්ක ඉන්න කාලේ අඩුයි කිව්වොත් හරි. මොකද අම්මා තමයි අපිව ගොඩක්ම බලාගත්තේ. නිශ්ශබ්දව තියා ගත්තෙත් අම්මා, තාත්තාගේ වැඩවලට කරදර නොවෙන්න. ඉතින් තාත්තා කොහොමත් එහෙම ගැටුම්වලට යන කෙනෙක් නෙවෙයි. මම දකින විදිහට හරිම නිහතමානී චරිතයක් තමයි.
දැන් මෙහෙමයි. දැන් මගේ දරුවන්ට මගේ මහත්තයාගෙන් ලැබුණු ලෙන්ගතුකමත් එක්ක බලනකොට, ඇත්තටම අපිට ඒ ලෙන්ගතුකම තාත්තගෙන් අඩුවෙන් ලැබුණු අවස්ථා මතක් වෙනවා, දැනෙනවා. මොකද තාත්තට අපිව වඩාගෙන හුරතල් කරන්නවත්, අපිට මොනවා හරි කෑමක් කවන්නවත්, එහෙම කිසිම දේකට තාත්තට ඉඩක් තිබුණේ නැහැ, තාත්තා කාර්යබහුල නිසානේ. ඉතින් එතකොට අපිට ඒ දවස්වල නොදැනුනත්, දැන් අපි දකිනකොට හිතෙනවා අපිට ඒ ලෙන්ගතුකමින් අඩුවක් වුණා නේද කියලා වගේ. හැබැයි ඉතින් අනික් හැමදේම ඉතින් තාත්තාගෙන් ලැබුණා. ඉස්සර එහෙම තමයි ඉතින්.
අපි දන්න කාලේ ඉඳන් අපි දන්නවා තාත්තා මොකක්ද එයාගේ වෘත්තිය කියලා. ඉතින් උගුර ලේ රහ වෙනකම් සින්දු කියලා, ඉතින් ගොඩක් දවසට… ඔහු සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා අනිවාර්යයෙන් තාත්තට ප්‍රසංග. ඉතින් එතකොට එහෙම ගිහිල්ලානේ සල්ලි හම්බ කරන්නේ. ඉතින් අපි වෙනුවෙන් නේ. ඒ නිසා අපිට ඒක එහෙම අමනාපකමක් කියලා කවදාවත් මට නම් දැනිලා නැහැ.
අම්මා ගැනත් කියන්න ඕනේ. අම්මා මේ තාත්තට ගොඩක්ම පිටිපස්සෙන් ඉඳලා උදව් කරපු කෙනෙක්. අම්මා අපි හතරදෙනාව පාලනය කරගෙන තාත්තාට උදව් කළා වගේම, තාත්තගේ ප්‍රසංගවලදී, ‘ස’ ප්‍රසංගයේ වුණත්, ඒ වෙලාවට අම්මා තමයි ඒ ෆයිල් හදන්නේ. ඒ නොටේෂන් ෆයිල්ස් ඔක්කොම හදලා, සින්දුවලට ඒවා හදලා, ඒ ලෑස්ති කරලා, තාත්තගේ ඇඳුම් පැළඳුම් ලෑස්ති කරලා, ඒ සියලු දේ කරන්නෙත් අම්මා. ඉතින් අම්මා ඒ අතින් සෑහෙන මෙහෙවරක් කරපු කෙනෙක් තාත්තගේ මේ ගමනට. ඉතින් තාත්තා ඇත්තටම ඉතින් ලොකු ගමනක් අපි හතරදෙනාත් එක්ක, අම්මත් එක්ක ආවා.
නිවසේ ගීත ගායනා කරනවද එකතු වෙලා කට්ටිය?
ඇත්තටම තාත්තා ගෙදර සින්දු කියන්නේ නෑ. කිව්වේ, දැන් මුල් කාලයේ ගීත අපි අහන්නේ කැසට් එක ගෙනල්ලා දැම්මාට පස්සේ තමයි අපි දන්නේ සමහර ගීත. මොකද තාත්තා එයා තනියම කාමරේට වෙලා හදලා, රෙකෝඩින් එකට ගිහිල්ලා… ඉතින් ඇත්තටම අපේ සහයෝගයක් ඒ කාලේදී නැහැනේ.
තාත්තා ඔබ පිළිබඳව කොයි තරම් සැලකිලිමත් වුණාද?
මට ඇත්තටම ඒක කියන්න තියෙන්නේ, මේ සංගීතය ගැන වුණත්… ඒලෙවල් වලට තෝරගන්න හදනකොට එපා කිව්වා. අම්මත් … නැටුම් ගුරුවරියක් හැටියට පත්වීමක් ලැබිලා තිබුණා, නමුත් යන්න දීලා නෑ අම්මට. ඒ වගේ තාත්තා අපිව සංගීත පැත්තට යොමු කළේ නෑ ගොඩක්.
ඉතින් පස්සේ මම ගීත ගායනා කළා. පොඩි කාලේ ඔය තාත්තගේ කැසට් පටවල… ඒකෙ නෙමෙයි, අපේ චන්ද්‍රානි ගුණවර්ධන ඇන්ටිගේ කැසට් එකක අපි හතරදෙනාම සිංදු කිව්වා, ලක්ෂ්මන් විජේසේකර අංකල්ගේ. කොහොම හරි අවුරුදු දාසයක් විතර වගේ මම “රන් බෝ අතු නැමී නැමී සාදු කියනවා” කියන ගීතය ගායනා කළා. හැබැයි ඒකත් තාත්තා ලංකාවේ නැති වෙලාවක තමයි තීරණය කරගෙන කළේ. ආවට පස්සේ මුකුත් කිව්වේ නෑ.
ඉතින් එහෙම වෙලා… තාත්තා අපිට, ඇත්තටම මටයි අක්කටයි සංගීත ක්ෂේත්‍රයට එන්න දුන්නේ නැහැ. ඒ කාලේ. අයියටයි මල්ලිටයි ඒක ඕකේ. ඉතින් අපි දෙන්නට පොඩ්ඩක් එන්න දුන්නේ නෑ. එයා නිකන් හිතුවේ, අර… ගැහැනු දරුවෙකුට හොඳ නෑ මේ ක්ෂේත්‍රය කියන එක වගේ එයාගේ හිතේ තියෙන්න ඇති කියලා හිතෙනවා මට. මට ඇත්තටම දැන් සමහර සිද්ධීන් දැක්කම හිතෙනවා, තාත්තා ගත්ත තීරණය හරිද දන්නේ නෑ ඒ දවස්වල කියලා. එහෙමත් හිතෙනවා. කොටින්ම, අපි දෙන්නට බයිසිකලයක් පදින්න දුන්නේ නෑ. අයියාගේ එකක් තිබුණා. අපි දෙන්නට තහනම් කළා. තාත්තා ඒ වගේ, ගෑනු ළමයි දෙන්නා හැදුවේ වෙනස් විදිහකට.
තාත්තා පිළිබඳව ආඩම්බර හිතුණු මොහොතක් තියෙනවද?
තාත්තට ආචාර්ය පදවිය හම්බවෙනකොට, අපි ඔක්කොමලා ගියා කැම්පස් එකට. ඉතින් මට එදත් මතකයි, අපිව අර පෙරහැරේ එක්කගෙන ගිහින් තාත්තව ස්ටේජ් එකට නැග්ගෙව්වා. ඒ අවස්ථාවෙත් මට තාත්තා ගැන ගොඩක් ආඩම්බරයක් හිතුණා.
‘ස’ ප්‍රසංගයේ “අහස් ගව්ව” කරනකොටත් අපිට මතකයි. එදත් හැමෝම වගේ, නළු නිළියෝ, ගායක ගායිකාවෝ, ඒ හැමෝම ඇවිල්ලා. ඉතින් ඒ ප්‍රසංගය ලොකුවට තිබුණු එකක්. “අහස් ගව්ව” ඊට පස්සේ… මම හිතන්නේ දවස් තුනක් කළා එකදිගට. ඉතින් තාත්තා ගැන පුදුම ආඩම්බරයක්. ඇත්තටම ඒ වගේ ඒක පුද්ගල ප්‍රසංගයක් කරලා… මමත් අන්තිම ෂෝ පහළොවකට විතර අත්වැල් ගායනයට ගියා. ඉතින් නිරංජලා සරෝජිනී ඇන්ටිලා හිමින් සැරේ නැවතුණට පස්සේ, ඉතින් අන්තිම කාලේ අක්කයි මමයි දෙන්නම අත්වැල් ගායනයට ගියා. ඉතින් ඒ සින්දු වුණත්, අර ඒ ප්‍රසංගවලට යද්දිත්, අපිට තාත්තාගේ ඒ ප්‍රසංගය ගැන පුදුම… පුදුමයක් තියෙන්නේ. ඇත්තටම, කිසි කෙනෙක්, කිසි ශබ්දයක් නැතුව ඒ සින්දු 26 අහන් ඉන්න හැටි අපිටත් හරි පුදුමයි. අපිට ආඩම්බරයි, ඇත්තටම. ඉතින්… එහෙම තමා.
ඔබ හිතන විදිහට වික්ටර් රත්නායකයන්ට මේ තරම් ආදරේ, මේ දශක ගාණක් එක විදිහට, පරම්පරා ගණනාවක ආදරේ ලැබෙන්නේ ඇයි?
මං හිතන්නේ එකක් ඒ කටහඬ. භාවාත්මක කටහඬක්. ඇත්තටම ඒක, ගීතයෙන් ගීතයට කටහඬේ ස්වරය වෙනස් වෙනවා. ඒ කියන්නේ, දැන් අම්මා ගැන එහෙම කියන ගීතයක්, බුදු ගුණ කියන ගීතයකදී තාත්තගේ… ඒ කියන්නේ ඒ ගීයේ හැඟීම කටහඬින්ම එනවා. අල්ලගන්න බෑ. ආදර ගීතයක් කියද්දී, ඒක නිකන් ආදරේ ඇහෙනවා වගේ. එහෙම කියනවා. ඉතින් ඇත්තටම, ඒ ගායනා විලාසය, මම ගොඩක්ම දැකලා නැති දෙයක්. තාත්තගේ ගොඩක්ම එක මම අගය කරනවා. ඒකත් වෙන්න පුලුවන්.
ඉතින් ඔය ‘ස’ ප්‍රසංගවලදී තාත්තගේ කොණ්ඩේ ගලෝගෙන ගිය අය, ලේන්සුව අතේ තියෙද්දී හොරකම් කරගත්තු අය, ලියන පෑන හොරකම් කර ගත්ත ගෑනු ළමයි… පස්සේ පස්සේ අපි දන්නවා ඒ වගේ දේවල්. හරි සුන්දරයි. මම දන්නේ නෑ… තාත්තගේ ඒක වෙනම… මම හිතන්නේ හඬේ තමයි තියෙන්නේ කියලත් මට දැනෙනවා.
ඒ වගේම, ඕන කෙනෙක් එක්ක හරි ලෙන්ගතුයි. ඕන කෙනෙක් එක්ක කතා කරනවා. ආඩම්බරකම ඇත්තටම නෑ. තාත්තා ඕන කෙනෙක් එක්ක කතා කරනවා. ගෙදරට කවුරු ආවත්, තාත්තා කතා කරලා, අම්මා තේ එකක් දීලා එහෙම යවන්නේ. ඉතින් අර ඒ වගේ.
නව යොවුන් වියේදී, පාසල් යනකොට, තාත්තා එහෙම ජනප්‍රිය චරිතයක්, රටේ ආදරය ලැබෙන චරිතයක් කියලා දැනෙන එක කොහොමද ඔබේ පෞරුෂ වර්ධනයට බලපෑවේ?
නෑ, ඒක ඇත්තටම ආඩම්බරයක් තමයි, ඒක නිහතමානී ආඩම්බරයක්. මම හිතන්නේ මම වුණත්, අක්කා වුණත්, අපි හතරදෙනාම එහෙම නිකන් ඒක අර ලොකුවට, නිකන් අර මිනිස්සුන්ට ලොකුකම පෙන්නන්න, “මම අහවලාගේ දුව” කියලා එහෙම කළේ නැහැ කියලා මං දන්නවා. මොකද මම ඇත්තටම අදටත්, මගේ ගුරුවරු මට කියන්නේ, “මංජුලා ඔයා එදා වගේමයි” අර එහෙම කියලා. අපි නිහතමානියි. ඉතින් අපි කවදාවත් එහෙම ආඩම්බරයෙන් කාත් එක්කවත් කතා කරලා නෑ, “අපි වික්ටර් රත්නායකගේ” එහෙම කියලා. එහෙම නෑ කවදාවත්. ඉතින් අර ඒක තිබ්බා.
හැබැයි ඉතින් හැම තැනදිම… දැන් අපි ඉස්කෝලේ මියුසික් වැඩවල, ඩාන්සින් වැඩවල, මමයි අක්කයි හැමදේකම, ගීත ගායනාවලටත් හැමදේටම ඉන්නවා. ඉතින් එහෙම මිසක්, නැත්තං අපි එහෙම තාත්තාගේ නමින් නිකන් අර ආඩම්බරකම පෙන්නලා එහෙම කරලා නෑ, ඇත්තටම. නමුත් ඉතින් පෞද්ගලිකවම හැබැයි ආඩම්බරයක් තමයි.
ඔබට නවයොවුන් අවධියේදී ප්‍රේමය දැනෙන කොට, ඔබේ පියාණන් ඒ ගැන දැනගත්තම කොයි විදිහටද ප්‍රතිචාර දැක්වූවේ?
සමහර ඒවා නම් ඉතින් අර තහනම් කළා. එපා කිව්වා, “ගැලපෙන්නේ නෑ” කිව්වා. එහෙමත් කළා.
එහෙම මේ ගහලා බැනලා කිව්වේ නෑ. “නෑ, ඒක හරි යන්නේ නෑ, ඒක හරියන්නේ නෑ, අපිට ගැලපෙන්නේ නෑ, වහාම නතර කරන්න.” එහෙම දෙයක් නම් නතර කරන්න කියලා තමයි කිව්වේ. එහෙම දෙයක් නම් නතර කරන්න කිව්වා. එහෙම තහංචි දාපු අවස්ථා දෙකක් විතර තිබුණා.
ඊට පස්සේ මම කෙනෙක් එක්ක යාළුවෙලා, තාත්තත් දන්නවා. පස්සේ ගෙදරත් ආවා, කතා කළා. පස්සේ පොඩි ප්‍රශ්නයක් වෙලා, ගෙදරින්… තාත්තා එදා ඒකත් නතර කරන්න කිව්වා. ඉතින් මං… ඊට පස්සේ මම ඉතින් බැංකුවේ, මම මහජන බැංකුවේ වැඩ කළේ, ඉතින් රස්සාවට ගියා. එහෙම කරලා ඉන්නකොට… ඉන් පස්සේ මට ඉතින්… මං එදා තීරණය කළා, ඒකෙන් පස්සේ මං තීරණය කළා, මං මොකුත් ආයේ කරන්නේ නෑ, අම්මයි තාත්තයි කියන එකක් කරනවා කියලා තමයි මගේ හිතේ තිබුණේ.
ඉතින් එහෙම ඉන්නකොට තමයි මගේ මහත්තයා ගැන අහගෙන ඇවිල්ලා, ප්‍රොපෝසල් එකක් වගේ කෙරුණේ. ඉතින් තාත්තා සතුටු වුණා, “එයා හොඳ කෙනෙක්” කියලා. ඉතින් එහෙම කියලා, මම එහෙම තමයි ඉතින් ඇත්තටම විවාහ වුණේ.
එහෙමත් අපි ටිකක් බයයි. මොකද දැන් එහෙම සම්බන්ධකම් ඇතිකරගන්න ටිකක් බයයි. අම්මා… අම්මා ටිකක් සැරයි. අම්මා හවස හයහමාර වෙනකොට ගෙදර එන්න ඕනේ. අම්මා ඉන්නවා පෙනි පෙනී, බස් හොල්ට් එක ගාව. එතනින් මෙතනට ගෙදරට… ඉතින් අම්මා ඉන්නවා ගේට්ටුව ළඟ එළියට ඇවිල්ලා, අපි එනකම් බලාගෙන. එක්කෝ මල්ලි ඉන්නවා, අයියා ඉන්නවා. අයියා චුට්ටක් ඉතින් අපි ගැන හෙව්වා ගොඩක්. ඉතින් ඒ නිසා, එහෙම තමයි. ඉතින් එහෙම ලොකුවට ආදර කතා නැති තරම්.
දැන් ඔබටත් නව යොවුන් වයසේ දරුවෝ ඉන්න කාලේදී, ඔබට තාත්තා ගැන, අම්මා ගැන වෙනස් විදිහට හිතෙනවද?
වෙනස් විදියට නම් හිතෙන්නේ නැහැ. අපි… ඒගොල්ලෝ වෙනස් කියලා දැනෙන වෙලාවල් තියෙන්නේ, අපි අපේ දරුවන්ට ආදරේ වැඩියි කියලා දැනෙනවා. ඒ කියන්නේ, අපේ තාත්තා අපිට තහනම් කරපු දේවල් අපි අපේ දරුවන්ට තහනම් කරන්නේ නෑනේ. අපි පුළුවන් තරම් දේවල් දෙනවානේ. අපිට තහනම් කරපු දේවල් තියෙනවානේ, අපිට එහෙම ගමන් යන්න දෙන්නේ නැති ඒවා. ඉතින් එහෙම තිබුණා. නමුත් දැන් අපේ දරුවන්ට ඉතින්, අපි කොහේ හරි පාටියක් තියෙනවා කිව්වොත්, යාළුවෙක්ගේ ගෙදර කිව්වොත්, ඉතින් අපි යන්න දෙනවනේ. ගිහින් දානවා. ඒ වුණත්, අපේ තාත්තලා ඒ කාලේ අපි එහෙම ඇහුවෙත් නැහැ. ඒ වගේ අවස්ථා… ඉතින් එහෙම ලොකු වෙනසක් නම් නැහැ. තාත්තා දැන් ඉතින් අපිත් එක්ක නැති එක ගැන…
ආචාර්ය වික්ටර් රත්නායකයන් මේ වයසේදී සතුටෙන්, සුවයෙන් සිටීම පිළිබඳව ඔබේ අදහස?
ඔව්. තාත්තා ඇත්තටම සුවෙන් කියන්නේ, සියයට සියයක් නෙමෙයි. තාත්තා සනීපෙන් නෙවෙයි. නමුත් තාත්තට දැන් ලැබිලා ඉන්න බිරිඳ, හෂිනි, මම කියන්න ඕනේ, ඇත්තටම හෂිනි හරිම හොඳින් තාත්තාව බලා කියා ගන්නවා. තාත්තට මම හිතන්නේ ඒක… තාත්තට එයාව ලැබුණු එකත් මම හිතන්නේ හරිම වටිනාකමක් තියෙනවා, තාත්තට එයා වගේ කෙනෙක් ලැබිච්ච එක. මොකද තාත්තා අවුරුදු දහතුනක් තනියම හිටියා. ඉතින් එහෙම ඉඳලා… ඇත්තටම එයාටත් එහෙම කෙනෙක් ලැබුණු එක එක අතකට ලොකු වාසනාවක්.
තාත්තව ඇත්තටම කිසිම අඩුපාඩුවක් නැතුව හෂිනි බලාගන්නවා. තාත්තත් ඒ තොරතුරු මා එක්ක කියනවා. යන්න බැරි වුණත්, ඉඳලා හිටලා කතා කරලා… මටත් ඉතින් දරුවෝ තුන්දෙනෙක්ගේ වැඩත් එක්ක… මොකද මගේ මහත්තයත් නැහැ. එයා නැතිවුණා දැන් අවුරුදු නමයක්. ඉතින් මමත් දරුවෝ තුන්දෙනාගේ වැඩකටයුතු කරගෙන ඉන්න අතරේ, දැන් යන්න එන්න… පහුගිය කාලේ ගියා. නමුත් මම දැන් කාලෙකින් යන්නත් බැරිවුණා බලන්න. හැබැයි කෝල් කරා, කතා කළා. ඉතින් හෂිනිට මම ඇත්තටම ලොකු ගෞරවයක් දෙනවා, මොකද තාත්තාව හොඳින් බලාගන්නවා කියලා. මොකද මම දැක්කා, එයා සොයා බලන විදිය දැක්කා, කරන දේවල් දැක්කා. ඉතින් ඒ අතින්, නිදුක් නිරෝගී සුවය තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. හෂිනිටත් ඇත්තටම ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා කියනවා, තාත්තව ඔය විදිහට තවදුරටත් බලාගන්න.